හිටපු උතුරුමැද පළාත් මහ අමාත්‍ය එස්. එම් රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ (නෑනා) ශාන්ති චන්ද්‍රසේන හට වසර 16 බැගින් වූ බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් නියම කර තිබෙනවා.
අද (02) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.
එමෙන්ම රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දඩ මුදල් ද ගෙවීමට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම්; තවත් වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කරන බව ද අධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නා.
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නමැති වරද අංක 01,02 හා 03 සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.
එම දෙවැනි විත්තිකාරියට (ශාන්ති චන්ද්‍රසේන) ඇයගේ වැටුපත් සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදීත් එලෙස රුපියල් ලක්ෂ 21කට ආසන්න ඉන්ධන දීමනාවක් අමතරව ඇනවුම් මගින් ලබා ගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මේ අතර ප්‍රධානයි.
රටේ ජනතාවගේ මුදල් කොල්ලකන දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ල වන බවත්, එබැවින් මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නැති බවත්, ඔවුන්ට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීම සිදු වන බව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රකාශ කළා.
විනිසුරුවරයා මේ බව සඳහන් කළේ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුවේ තීන්දුව ප්‍රකාශයට කරමින්.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
2012 සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ වැටුප සමග ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අබිබවා නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් ලක්ෂ 26කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීමත් සම්බන්ධයෙන් එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙසේ අවභාවිත කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 16,784ක් බවත් නඩුවේ විභාගයේ දී අනාවරණය වූ බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ කියා සිටියේ, විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ චෝදනා හයක් ගොනුකර තිබූ බවයි.
ඉන් චෝදනා දෙකකට විත්තිකරුවන් වරදකරු කරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය මෙම නඩුවේ පළමු වන විත්තිකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මහජන ඡන්දයෙන් උතුරු මැද පළාත් සභාවට තේරී පත් වූ පුද්ගලයකු බව සඳහන් කළා.
“මොහු මහජන ඡන්දයෙන් තේරී පත් වුණේ, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ තරමක දුෂ්කර දිස්ත්‍රික්කයක්. එහි වැඩි වශයෙන් වාසය කරන්නේ ගොවීන්. මෙසේ දුෂ්කර ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක මහජන නියෝජිතයින් වශයෙන් තේරී පත් වී මහජන මුදල් අවභාවිතා කරමින් විත්තිකරුවන් මෙම දූෂණ ක්‍රියාවේ නිරතව තිබෙනවා. 2012 වසරේ ඔහු විසින් අවභාවිතා කළ මුදල් වල වටිනාකම රුපියල් ලක්ෂ 26කට අධිකයි. එම මුදල්වල වර්තමාන වටිනාකම ඊටත් වඩා වැඩියි”
යනුවෙන් සඳහන් කළ එම නීතිඥවරිය මෙම චෝදනාවල බරපතළභාවය සැලකිල්ලට ගෙන විත්තිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය 2012 වසරේ සිදු වූ වරදක් බවත් විත්තිකරුවන් නඩුව කඩිනමින් අවසන් කිරීමට පූර්ණ සහාය ලබා දී ඇති බවත් සඳහන් කළා.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තම සේවාදායකයින්ට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා “වෙනත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මෙම සිද්ධියේදී අනුගමනය කිරීමට හැකියාවක් නැහැ. මෙම නඩුකරය තුළින් අනාවරණය වන්නේ ආර්ථික අපරාධයක්. පළමුවන විත්තිකරු මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත් වූ අයෙකු වන අතර ඔහු මහජනතාවට වගකිව යුතු ආකාරයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා. දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ල වෙනවා. පසුගිය කාලයේ අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ නිසා අපේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා. මෙවැනි ආර්ථික අර්බුදවලට රට තුළ සිදුවන දූෂණ ක්‍රියාත් බලපානවා. එම නිසා මෙවැනි චෝදනා එල්ල වන මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට සිදුවෙනවා”
යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මෙම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට හැකියාව පවතින බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළ බවත් වාර්තා වනවා.
ඊට අමතරව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.