හිඟ ජල බිල්පත් ඇති සියලූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. දිවයිනම ආවරණය වන ලෙස මේ දිනවල එවැනි ජල සැපයුම් විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙන බවයි එහි සහකාර අධ්‍යක්ෂ (අය කිරීම්) ඒකනායක වීරසිංහ ප්‍රකාශ කර සිටියේ.
පසුගිය දෙසැම්බර් මාසය දක්වා හිග ජල බිල්පත් රුපියල් මිලියන 7200ක් අයවීමට තිබූ අතර ඉන් මිලියන 1200ක් පමණ පාරිභෝගිකයන් විසින් ගෙවා තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
ජල බිල්පත් හිඟ පාරිභෝගිකයින් සඳහා රතු නිවේදන සහ අවසන් නිවේදන නිකුත් කර තිබෙන බව ද, අවසන් නිවේදන නොතකා හිඟ බිල්පත් ගෙවීමට පියවර නොගන්නා සියලූම ජල පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීම මේ දිනවල සිදු කරගෙන යන බව ද සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.
ජල බිල්පත් ගෙවීමට ගැටලූ ඇත්නම් තමන්ට ආසන්න ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාලයට ගොස් ගෙවීම් අංශයේ නිලධාරීන් හමුවී හිග ගෙවීම් සදහා පහසු වැඩපිළිවෙළක් සාකච්ජා කර ගෙවීමට පියවර ගත හැකි බවද ඔහු සඳහන් කර සිටියේ.
ජල සැපයුම විසන්ධි කිරීමෙන් අනතුරුව යළි සැපයුම ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින් රුපියල් 1080ක්ද, රාජ්‍ය/පෞද්ගලික ආයතන/ පූජනීය ස්ථාන /වාණිජ ආයතනවලට රුපියල් 3240ක් ද ගෙවීමට සිදුවන බැවින් ජල සැපයුම විසන්ධි කිරීම වළක්වා ගැනීමට හිඟ මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.




