දීර්ඝ කාලයක සිට සෑම සති අන්තයකම විටින් විට සිදුවන විදුලිය බිඳවැටීම් හේතුවෙන් සීදූව, ලියනේගේමුල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.
එම ප්‍රදේශවාසීන් පවසන්නේ සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල දිනකට අවස්ථා 10-12ක් මෙලෙස විදුලිය බිඳවැටීම් සිදුවන බවයි.
මේ හේතුවෙන් තම දෛනික කටයුතු සිදුකර ගැනීමට පවා ඇසිරූ තත්ත්වයක් සති අන්තයේ උද්ගත වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.
මෙම කලාපය තුළ ව්‍යාපාරික ස්ථාන ද රැසක් පිහිටා ඇති අතර, ඒවායේ කටයුතුවලට ද මෙලෙස නිතර නිතර සිදුවන විදුලිය බිඳවැටීම නිසා විශාල පාඩුවක් සිදුවන බවත්, අවස්ථා කිහිපයක දී ඒවායේ ඇති පරිගණක ඇතුළු ඇතැම් යන්ත්‍රෝපකරණවලට ද හානි සිදුව ඇති බවත් ඔවුන් පවසනවා.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) දැනුම්වත් කිරීමට කටයුතු කළ ද මේ වනතෙක් ඔවුන්ගෙන් මෙම ගැටළුවට නිසි පිළිතුරුක් ලැබී නැහැ.
එම සමාගම මීට හේතු ලෙස පවසන්නේ සති අන්තයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවන අසමතුලිත තත්ත්වය හේතුවෙන් මෙලෙස විදුලිය බිඳවැටීම් සිදුවන බවයි.
ඒ, අනුව එම සමාගම පවසන්නේ සති අන්තයේ නිතර නිතර මේ ආකාරයෙන් සිදුවන විදුලිය බිඳවැටීම් සඳහා නිශ්චිත විසඳුමක් ලබාදිය නොහැකි බවයි.
එවැනි තත්ත්වයක සීදූව, ලියනේගේමුල්ල ප්‍රදේශයේ ජනතාවට තව දුරටත් සති අන්තයේ මේ ආකාරයෙන් විටින් විට සිදුවන විදුලිය බිඳවැටීම්වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ මතය වී ඇත්තේ.





