සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි පාසල් දැරියක්, උසස්පෙළ පාසල් සිසුවකු විසින් දිවි පරදුවට තබා බේරාගත් පුවතක් බිබිල – මැදගම ප්රදේශයෙන් වාර්තා වනවා.
දියේ ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි දැරියක් මෙම සිසුවා විසින් බේරාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අදාළ දැරිය සිය මව සහ සහෝදරයා සමඟ 17 කණුව ප්රදේශයේ පැවති දානමය පිංකමක් සඳහා සහභාගී වීමට මැදගම -17 කණුව ප්රදේශයේ පිහිටි බෙල්ලන්ඔය හරහා පිහිටි සපත්තු පාලමෙන් එතෙර වීමට ගොස් තිබෙනවා.
එහිදී මව වතුරට බැස පළමුව කුඩා පුතු පාලමෙන් එතෙර කර ඇති අතර, දෙවනුව දියණියව එගොඩ කිරීමට යාමේදී දියණියගේ පය ලිස්සා ගොස් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.
එම අවස්ථාවේ දී සැඩ පහරට හසුව ගසාගෙන තම දියණිය බේරාදෙන ලෙස ආසන්නයේ සිටි කිහිපදෙනකුට මෙම මව කෑ ගසා උදව් ඉල්ලා සිටියද කිසිවකුත් ඉදිරිපත්ව නොමැති බව සඳහන්.
පසුව මෙම පාසල් සිසුවා එම ස්ථානයට පැමිණ දැරිය ගසාගෙන යන සැඩ පහරට පැන පිහිනා ගොස් ඇයව බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස සිය ජීවිතය ගැන පවා නොසිතමින් 11 හැවිරිදි දැරියගේ දිවි ගලවාගැනීමට සමත්ව ඇත්තේ මැදගම අමුනේකඳුර ජාතික පාසලේ 12 වසරේ වාණිජ අංශයේ ඉගෙනුම ලබන ඩී.එම්. ලක්ෂිත දිල්ශාන් සිසුවායි.














