දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (21) හැකියාව ලැබුණා.
ඒ, සිම්බාවේ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමඟ පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39කින් ජය ගනිමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයම පන්දුවාර 48යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කර ගත්තා.
එහිදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට දැඩි පීඩනය එල්ල කරන්නට සිම්බාවේ පන්දු යවන්නන් සමත් වූ අතර, එම පීඩනය මැද්දේ අගනා පිති හරඹයක නියැලුණු දිනුර කළුපහන පන්දු 55කදී ලකුණු 60ක් රැස් කළා.
ඊට අමතරව ශරුජන් ෂන්මුගනාදන් නොදැවී ලකුණු 41ක් රැස්කළේ පන්දු 40කට මුහුණ දෙමින්.
මෙහිදී සිම්බාබ්වේ නායකයා පන්දු යවන්නන් 07 දෙනෙක් යොදාගත් අතර, පන්දු යැවීමේ දී කෝල් එක්ස්ටීන් ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවා.
අනතුරුව ලකුණු 205ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාවේ වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ පිළිතුරු ඉනිම ක්‍රියාත්මක වෙද්දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ වනවිට සිම්බාවේ ඉනිම ලකුණු 30කට දැවී තිබූ කඩුලු සංඛ්‍යාව 03ක්.
වර්ෂාවෙන් අනතුරුව තරය ආරම්භ වූ අතර එහිදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 22ක් තුළ ලකුණු 129ක ඉලක්කයක් ඔවුන්ට හිමි වුණා.
එම ඉලක්කය හඹා ගිය සිම්බාවේ කණ්ඩායමේ අනෙකුත් කඩුලු 07ලකුණු 89ක් තුළ දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.
පන්දු යැවීමේ දී මල්ෂා තරුපති සිම්බාවේ ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.
ඒ, අනුව අවසානයේ පන්දුවාර 21යි පන්දු 01 තුළ සිම්බාබ්වේ ඉනිම ලකුණු 89කට සීමා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම මෙම තරගය ජයගත්තා.




