ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එහිදී විවිධ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක කාර්මික විද්‍යාල උසස් තාක්ෂණ හා කළමනාකරණ විද්‍යාල බවට පත් කර තාක්ෂණික හා වෘත්තීය විෂයයන් ආශ්‍රිත උපාධිය හඳුන්වාදීමට හැකි මට්ටමට ගෙන ආ යුතු බවත් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ ) නැවත සොයා බලා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ඕස්ට්‍රේලියානු සුදුසුකම් මට්ටමට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියාව සමඟ ඒකාබද්ධ විදුලි සම්බන්ධතා පද්ධතියක් සහ ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (18) පැවති 2024 ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව අමතමින්.
ශ්‍රී ලංකාව මුහුණ දෙන කුසලතා අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් එක් වේදිකාවක් පිහිටුවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2016 වසරේ දී ඔහුගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව ආරම්භ වුණා.
“අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැඟීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික විභවයේ දොරගුළු විවර කිරීම” යන තේමාව යටතේ පැවැත්වුණ මෙවර සමුළුව මඟින් මානව ප්‍රාග්ධනය පෝෂණය කිරීම, උපයෝගී කර ගැනීම සහ පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණා.
හුදු ආර්ථික වර්ධනයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ආර්ථිකයේ සිට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම මෙම මුල පිරීමෙහි අරමුණයි.
දක්ෂතා වර්ධනය කිරීම, නවෝත්පාදනයන් වැඩි දියුණු කිරීම සහ සෑම පුරවැසියෙකුම සවිබල ගැන්වීමේ ඇති හැකියාව මත අපේක්ෂිත පරිවර්තනය රඳා පවතිනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි සැළකිය යුතු බලපෑමක් සිදුකරන රාජ්‍ය අංශයේ ධාරිතාව නැංවීම, තොරතුරු තාක්ෂණය, සංචාරක, මූල්‍ය සේවා සහ මුලපිරීම් යන ක්ෂේත්‍රයන් තුළ පවතින උපාය මාර්ගික විභවයන් කෙරෙහි මෙම සමුළුවෙන් ප්‍රමුඛත්වය දෙනු ලබනවා.
ආයෝජන මණ්ඩලයේ සභාපති සහ මානව ප්‍රාග්ධන සමුළුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට මෙහිදී සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබුවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
“2022 වසරේ දී ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හතරකට ආසන්න පිරිසක් මේ රට හැර ගිය බව සඳහන් වෙනවා. 2023 වසරේදී ද රට හැර ගිය සංඛ්‍යාව ඒ හා සමානයි. මෙම සංඛ්‍යාව පහළ යාමට වගේම , අඛණ්ඩව එකම මට්ටමක පවතින්නත් ඉඩ තිබෙනවා.
නමුත් අවශ්‍ය මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ අප විසින් සිදු කරනවා නම්, වර්ෂ 2026- 2027 පමණ වන විට මෙම තත්ත්වය නවත්වා ගත හැකියි. අපේ රටේ පැවති බංකොලොත්භාවය නිසා ඔවුන්ගේ ජීවිත වඩාත් දුෂ්කර වුණා. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්න සිදු වුණා. ඔවුන් ලබාගෙන තිබූ ණය ගෙවීමට මුදල් ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා ඔවුන් රටින් පිටවීමට තීරණය කළා.
අප වැටුප් සකස් කළේ ඩොලරයක මිල රුපියල් 185ක් ව තිබියදීයි. නමුත් අප මිල නියම කරන්නේ ඩොලරයේ මිල රුපියල් 300ක් ව තිබියදීයි. ඉතින්, මධ්‍යම පාන්තික විධායක නිලධාරියකුගේ පැවැත්ම කෙසේ විය හැකි ද කියා ඔබට හිතා ගත හැකියි.
අප මෙතෙක් සිදුකර ගෙන තිබෙන්නේ ස්වෛරී රාජ්‍යයන් සහ පෞද්ගලික ආයතන යන දෙඅංශයේම ණයහිමියන් විසින් අපට ලබා දී ඇති සහනවලින් පසු ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව තිබෙන බව සහතික කිරීම පමණයි. නමුත් අප ණය ගෙවන්නේ කෙසේද, ඊට මුදල් සොයා ගන්නේ කොහෙන්ද? විදේශ විනිමය සපයා ගන්නේ කෙසේද? යන්න කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි.
මම ආර්ථික පරිවර්තන පනත ගෙන ආ විට පාර්ලිමේන්තුවේ එක් පාර්ශ්වයක් ආනයන ආදේශක ආර්ථිකයක් අවශ්‍ය නිසා එය ප්‍රතික්ෂේප කළ යුතු බව අධිකරණයට ගොස් ප්‍රකාශ කළා. ආනයන ආදේශක ආර්ථිකයක් යනුවෙන් දෙයක් තිබෙන බවට වන අදහස අප මුලින්ම ඔළුවෙන් ඉවත් කළ යුතුයි. ඉහළ තරගකාරී නවීන අපනයන ආර්ථිකයක් සඳහා අප මුලින්ම කැපවිය යුතුයි. මා සිතන ආකාරයට ඔබට දැන් ඒ සඳහා අවස්ථාව ලැබී තියෙනවා. ආර්ථිකයේ මූලික වෙනසක් සිදු විය යුතු බව අපේ රටේ බොහෝ දෙනකු වටහා ගනිමින් සිටිනවා.
ඒ නිසා ඔවුන්ට අවශ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධයක් අපට ලබා දිය හැකියි.අපට නවීන ක්‍රම මඟින් වගා කිරීමට ඉඩම් අක්කර ලක්ෂ තුන හතරක් පමණ තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කළ හැකි ග්‍රාමීය ජනතාව සතු ඉඩම්ද අපට තිබෙනවා.
ඒ වගේම සංචාරක ව්‍යාපාරයට මෙන්ම, තොරතුරු තාක්‍ෂණය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත වලටත්, ස්වයංක්‍රීයකරණය යොදා ගැනීම සඳහා මිනිසුන් පුහුණු කළ යුතුයි. ඒ සඳහා අවස්ථාව තිබෙනවා. මෙහිදී කතා කිරීමට බොහෝ ක්ෂේත්‍ර තිබුණත් ඉන්දියාව සමඟ ඇති ආර්ථික සහයෝගීතාව පිළිබඳව පමණක් මා මෙහිදී කතා කිරීමට කැමතියි.
ඉන්දියාව සමඟ ඒකාබද්ධ විදුලි සම්බන්ධතා පද්ධතියක් ගැන අප තීරණයකට එළඹ තිබෙනවා. නමුත් සියලුම අංශ අතරින් වඩාත් වැදගත් වන්නේ ගොඩබිම් සම්බන්ධතාවයයි.
අන්ද්‍රා සහ තෙලඟනා ප්‍රාන්ත සමඟ එක්ව මහාරාෂ්ට්‍ර හා ගුජරාට ප්‍රාන්ත සමඟ තරග කරන තමිල්නාඩු ශ්‍රී ලංකාවේ, ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් භාවිතා කළ හැකි වෙනවා. එය ඔවුන්ටත් අපටත් විශාල වෙනසක් වනු ඇතියි. මේ ආකාරයට පුළුල් කළ යුතු බොහෝ ක්ෂේත්‍ර අප හඳුනා ගෙන තිබෙනවා. ඒ වගේම අප විදේශ ආයෝජනවලටත්, ඊට වඩා දේශීය ආයෝජනවලටත් හිතකාමී විය යුතු වෙනවා.මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ වශයෙන් ද පෞද්ගලික අංශය පුළුල් කළ යුතුයි. ඒ හැර වෙනත් මාර්ගයක් නැහැ. මෙම රාමුව තුළ, අපගේ මානව ප්‍රාග්ධනය ගොඩනැගීම දෙස බැලිය යුතුයි. මූල්‍ය ප්‍රාග්ධනය නොමැතිව මානව ප්‍රාග්ධනය දියුණු කළ නොහැකි බැවින් මේ ප්‍රවේශය ගත යුතුයි.
එහිදී වෘත්තීය සහ තාක්ෂණික අංශය පිළිබඳව අප පළමුව අවධානය යොමු කළ යුතුයි. අපට වෘත්තීය හා තාක්ෂණික ආයතන පවත්වාගෙන යන ආයතන, දෙපාර්තමේන්තු ඕනෑවටත් වඩා තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ද තිබෙනවා. නමුත් මේ ක්ෂේත්‍රය සඳහා පාසල් අධ්‍යාපනයෙන් පසු වග කියන එක් ආයතනයක් අවශ්‍යයි. රට පුරා සියලුම පුහුණු මධ්‍යස්ථාන 700-800 ක් පමණ තිබෙනවා, රජය පමණක් වෘත්තීය විද්‍යාල 300ක් පමණ ඒකාබද්ධ කරන්න කටයුතු කරන අතර, පසුව ඒවා යාවත්කාලීන කර නවීකරණය කිරීමට කටයුතු කරනවා.
අප කළ යුතුවන්නේ එයයි. විවිධ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක කාර්මික විද්‍යාල, උසස් තාක්ෂණ හා කළමනාකරණ විද්‍යාල බවට පත් කර තාක්ෂණික හා වෘත්තීය විෂයයන් ආශ්‍රිත උපාධිය හඳුන්වාදීමට හැකි මට්ටමට ගෙන ආ යුතුයි. එවිට NVQ සුදුසුකමෙන් අපට ආරම්භය ගත හැකියි. මා සිතන ආකාරයට අප NVQ සුදුසුකම් පිළිබඳ නැවත සොයා බලා ජාත්‍යන්තරව පිළිගත් සහ ඒ ආශ්‍රිත උපාධිය සඳහා ප්‍රතිපාදන සපයන ඕස්ට්‍රේලියානු සුදුසුකම් වල මට්ටමට ගෙන යායුතු වෙනවා. ඕස්ට්‍රේලියාවෙන් අපට ඉගෙන ගත හැකි බොහෝ දේ අතර මේ ඉන් එකක් වනවා. ආසියාවේ දියුණු රටවල් දෙස බැලූ විට ඒ සෑම රටක්ම වෘත්තීය තාක්ෂණික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මත ඔවුන්ගේ ප්‍රාග්ධනය ගොඩනැගීමට යොමු වී තිබෙනවා.
ජපානය, කොරියාව, හොංකොං සහ සිංගප්පූරුව ගත හොත් එම රටවල් ඉදිරියෙන් සිටිනවා. ඉදිරි වසරවල දී චීනය, වියට්නාමය, මැලේසියාව, තායිලන්තයද ඒ මට්ටමට පත් වෙනවා. එක්සත් අරාබි එමිර් සහ කටාර් රාජ්‍යයන් ඒ මට්ටමට ළඟා වෙනවා.අප මෙතෙක් හුරු වී සිටියේ ගොඩනැගිලි සහ ඇතැම් උපකරණවලින් සමන්විත ආධාර ව්‍යාපෘති ඉල්ලා සිටීමටයි. නමුත් ඉදිරියට අප විදේශාධාර ලබාගත යුතුව තිබෙන්නේ ක්‍රමය ශක්තිමත් කිරීමට සහ නවීකරණය කිරීමට පමණයි.
මේ සම්බන්ධයෙන්, අපට ඕස්ට්‍රේලියාවෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. අපට මානව ප්‍රාග්ධනය ගොඩනැගීමේ වේදිකාවක් බවට පත් විය හැකියි. එමෙන්ම ඉන්දියාව බංගලාදේශය, ශ්‍රී ලංකාව ඇතුළත් මේ කලාපය දියුණු වීමට නම් මානව ප්‍රාග්ධනය දියුණු කළ යුතුයි.
ඒ වගේම බිම්ස්ටෙක් රටවල් සියල්ලම එකතු විය යුතුයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගොඩනැගීම සඳහා මෙම රටවල් කිහිපයක සහාය ලබා ගත යුතු වෙනවා. අධ්‍යාපන අවස්ථා පිළිබඳව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් 2021 /2022 දී සකස් කළ ව්‍යාපෘති පත්‍රිකාවක් දැනටමත් තිබෙනවා.
ඩීකින් විශ්වවිද්‍යාලය, එඩිත් කෝවන් විශ්වවිද්‍යලය, සිඩ්නි තාක්‍ෂණ විද්‍යාලය දැනටමත් මෙරටට පැමිණ තිබෙනවා. මේ ආකාරයට තවත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල අප රටේ ස්ථාපනය වෙමින් තිබෙනවා. ඒ අතර අප රාජ්‍ය අංශයේ ලාබ නොලබන නව විශ්වවිද්‍යාල කිහිපයක් සංවර්ධනය කිරීමටද කටයුතු කරනවා. එයින් 04ක් තාක්ෂණික විශ්ව විද්‍යාල වන බව කිව යුතුයි.
එසේ නම් පළමුව, පවතින ක්‍රමය වෙනස් විය යුතුයි. දෙවනුව, අධ්‍යාපනය සහ පුහුණු ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.”