ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාල වකවානුවේදී මාතෘකා දෙකක් සම්බන්ධයෙන් කතා කළා. ඉන් එකක් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ. අනෙක් කරුණ වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයයි. අධ්‍යාපනයකින් තොරව ආර්ථිකයක් සංවර්ධනය කළ නොහැකි බව එතුමා දන්නවා. ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යා හැක්කේ බුද්ධිමත් මානව සම්පතක් සමඟ පමණයි.
වසර හතරකට පසුව අද මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් තිබෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා අරගලය වැනි හේතුන් නිසා උසස් අධ්‍යාපනය යම්කිසි පසුබෑමකට ලක්වී තිබුණා. නමුත් මෙම වසරේ දී සිසුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා තිබෙනවා.
නමුත් මේ සියලු දෙනාම විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් භෞතික සම්පත් අපට නැහැ. ලෝක ප්‍රමිතියට අනුව විද්‍යාලයක සිසුන් පහළොවකට එක් ආචාර්යවරයෙක් සිටිය යුතුයි. නමුත් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිසුන් තිහකට ඉන්නේ එක් ආචාර්යවරයෙක් පමණයි. උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඇති කිරීමට භෞතික සම්පත් සේම මානව සම්පත සංවර්ධනය ද අත්‍යවශ්‍ය වන අතර අප මේ වන විට ඒ සඳහා කටයුතු කරමින් සිටින බව කිව යුතුයි.
අනෙක් කරුණ නම් උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් බහුතරය කලා විෂය ධාරාව මගින් විභාගයට පෙනී සිටිනවා. එයට හේතුව මෙරට තිබෙන උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාදෙන පාසල් 3,000කින් 2,100කම තිබෙන්නේ කලා විෂය ධාරාව පමණයි. ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී
කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
නිදහස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදෙන අවස්ථාවේ රට තුළ සිටියේ සීමිත ජනගහණයක්. දරු පරපුර සිටියේ ලක්ෂ හතරක් පමණයි. නමුත් ශ්‍රී ලංකාවේ ජනගහණය අද වන විට මිලියන 22 දක්වා වැඩි වී තිබෙන අතර දරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ 43ක් දක්වා වැඩි වී තිබෙනවා.
මෙම වර්ධනයට අදාළව භෞතික සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී වගබලා ගත යුතුයි.
විශ්වවිද්‍යාල සිසුන්ටඅවශ්‍ය විද්‍යාගාර, නේවාසිකාගාර ඉදිකිරීම, භෞතික සම්පත් හා මානව සම්පත් සැපයීමට රුපියල් ට්‍රිලියන දෙකක පමණ මුදලක් වැයවන බවට ගණන් බලා තිබෙනවා. ලංකාවේ වැඩිම අරමුදල තිබෙන්නේ අර්ථසාධක අරමුදල සතුවයි. එය රුපියල් ට්‍රිලියන 4ක් වෙනවා . අධ්‍යාපනය සඳහා එයින් 50% ක් අවශ්‍ය වන බව ගණන් බලා තිබෙනවා. එම නිසා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වලදී දැනට තිබෙන විශ්වවිද්‍යාලවලට මණ්ඩප එක් කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල 17 තුළම මණ්ඩප දෙක බැගින් ආරම්භ කළහොත් විද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ දී තිබෙන තදබදය අවම කර ගැනීමට හැකියාව තිබෙනවා.
ඒ සමඟම පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අවස්ථාව ලබාදීමත් සිදු කළ යුතු වෙනවා. දැනට ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක් ක්‍රියාත්මක වෙනවා. තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 20ක් ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ලැබී තිබෙනවා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ගෝලීය පුරවැසියන් නිර්මාණය කිරීමට හැකි පරිසරයක් සකස් කළ යුතුයි. සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට ශිෂ්‍යත්ව ලබා දිය යුතුයි. නැතිනම් ණය මුදලක් ලබා දිය යුතුයි. ඒ අනුව සිසුවා තෝරා ගන්නා විෂය ධාරාවන්ට අදාළ ගෙවීම් සිදුකර විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ පසු එය නැවත අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකියි. එමගින් රැකියා ඉලක්ක කරගත් පාඨමාලා හැදෑරීමට සිසුන් උනන්දු වෙනවා.
ලෝකයේ බොහෝ දියුණු රටවලට එම දියුණුව උදාකර ගැනීමට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ පර්යේෂණ ඉවහල් වි තිබෙනවා. නමුත් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සමාජය සමඟ තිබෙන දුරස්ථභාවය නිසාම සමාජයේ ඇති ප්‍රශ්නවලට පර්යේෂණ මගින් විසඳුම් සොයා නැහැ. එම නිසා විශ්වවිද්‍යාල සහ සමාජය ඒකාබද්ධ කළ යුතුයි. කෘෂි විද්‍යාලවල බුද්ධිමය නිදහස වැඩි කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තරකරණය රාජ්‍ය විශ්ව විද්‍යාල තුළට ගෙන ඒම සිදු කළ යුතුයි.