2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2469/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් පසුගිය 10 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අනුමතිය ලබා දීම සිදුවුණා.
කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, චතුරංග අබේසිංහ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විජේසිරි බස්නායක සහ නිමල් පලිහේන ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වුණා.
2023 ජුනි මස 2 වැනි දින අංංක 2334/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2023 අංක 1 දරන කොළඹ වරාය නගරය (සංවර්ධන පාලන) නියෝග සංශෝධනය කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළ කර තිබෙනවා.
භූමි පරිහරණ ව්‍යාප්තියට අදාළ සංශෝධනයන් මේ යටතේ සිදුකර තිබෙනවා.
ඒ අනුව විදුලි මෙහෙයුම් කටයුතු සඳහා මුල් සැලැස්මේ වෙන්කර තිබූ භූමි ප්‍රමාණයට අමතර කොටසක් එක් කිරීම, වරාය නගරය තුළ ගොඩනැගිලිවල උපරිම උස තීරණය කිරීම ඇතුළු තාක්ෂණික කරුණු මෙහි ඇතුළත් බව නිලධාරීන් සඳහන් කළා.
ආයෝජකයන්ගෙන් ලැබුණු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් වරාය නගරය තුළ ගොඩනැගිලි සම්බන්ධයෙන් වන රෙගුලාසි ලිහිල් කොට සංශෝධනය කළ බව කොමිෂන් සභා නිලධාරීන් මෙහිදී සඳහන් කළා.
වෙරළ තීරයේ සිට ක්‍රමයෙන් ගොඩනැගිලි උස වැඩි වන ලෙස පවතින සැලසුම ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක වනවා .
ආයෝජකයින්ගේ සියලු අනුමැතීන් ලබා ගැනීම ආදී කටයුතු එක් ස්ථානයකින් සිදු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙනු ලැබුවා.
සිවිල් ගුවන් සේවා අධිකාරය, විදුලි බල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය වැනි අනෙකුත් ආයතන වෙන වෙනම සම්බන්ධීකරණය කිරීම වෙනුවට එක් ස්ථානයකින් (“single window” or “one-stop shop” ) සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කර තිබෙනවා.
ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය අතර මනා සම්බන්ධීකරණයේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා වුණා.
ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදුකර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව අතර විධිමත් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කමිටුව නිර්දේශ කළා.
එසේම රජය වරාය නගරය සඳහා ජලසම්පාදනය ඇතුළු උපයෝගිතා සඳහා රුපියල් බිලියන 9.9 ක් පමණ වියදම් කර ඇති බවත්, ලබන වසර වන විට වියදම් කිරීමට අපේක්ෂිත මුළු පිරිවැය රුපියල් බිලියන 10.5 ක් බවත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්
සඳහන් කළා.
පිරිවැය අයකර ගැනීම සඳහා, රජයට අයිති ඉඩම්වලින් ලැබෙන බදු කුලියෙන් 100%ක්ද CHEC Port City සමාගමට අයත් ඉඩම්වල බදුකුලියෙන් 1%ක්ද ලෙස අයකරගනු ලබනවා.
එසේම මැදපෙරදිග කලාපයේ දැනට පවතින යුධමය වාතාවරණය මෙරට ආයෝජන අවස්ථා වැඩිකිරීමට යොදාගත හැකිබව ද මෙහිදී සාකච්ඡා වුණා.
ඒ අනුව පවතින අවස්ථාව නිවැරදි ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් සිටින බව වරාය නගරය කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී කරුණු දැක්වීමද සිදු කළා.
දේපල සංවර්ධන කටයුතු සිදුකරන මෙරට ආයතන ශ්‍රී ලාංකිකයින් සඳහා වරාය නගරයේ මහල් නිවාස අලෙවි කරන බව දැන්වීම් මගින් ප්‍රචාරය කිරීම පිළිබඳව කාරක සභාවේ අවධානයට ලක්වූ අතර මෙය වරාය නගරය අපේක්ෂාවන්ට
අනුකූලදැයි ප්‍රශ්න කරනු ලැබුවා.
බලයලත් තැනැත්තන් ලෙස නම්කර නොමැති ශ්‍රී ලාංකික සමාගම් දෙකක් මෙලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන බවත් එම සමාගම් විසින් මූලික ගෙවීමක් සිදුකර ඇති නමුත් වරාය නගරය කොමිෂන් සභාවේ අනුමතිය මෙතෙක් ලබාදී නොමැති බැවින් එලෙස ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම නතර කරන ලෙස (cease and desist) ඔවුන්ට ලිඛිතව දැනුම්දී ඇති බවත් කොමිෂන් සභා සභාපතිවරයා අවධාරණය කළා.
ඉඩම් බදු කුලිය ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් භාවිතා කළ හැකි වුවද, මුළු ඉදිකිරීම් පිරිවැය විදේශ විනිමය මූලාශ්‍රයකින් සිදුකළ යුතු බවත් ඔහු පවසා සිටියා.
ඒ සඳහා විදේශ ණය හෝ විදේශිකයන් සමග සිදුකරන විකුණුම් ගනුදෙනුවක් භාවිත කළ හැකි බව කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
විදේශිකයන්ට ඉඩම් පැවරීම සීමා කිරීම සඳහා වන ‘ඉඩම් (සන්තකය පැවරීම සීමාකිරීම) පනත’ මගින් සීමා කර නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ට රුපියල්වලින් මහල් නිවාස විකිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා .



