ලොව බොහෝ රටවල් විසින් කුරිරු යැයි හඳුන්වාදෙන ලද , චීනය විසින් කලක් දැඩිව අනුගමනය කළ’එක් දරුවෙක් පමණක්’ යන ප්‍රතිපත්තිය ඇතුළු ජනගහන පාලන ප්‍රතිපත්තිවල බරපතලම වන්දිය ගෙවීමට දැන් චීනයට සිදුව තිබෙනවා. අදාළ ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වන විට චීනයේ වයස්ගත ජනගහනය ඉතා ඉහළ අගයක පවතිද්දී වැඩ කළ හැකි ජනගහනය කැපී පෙනන ලෙස අඩුවී තිබෙනවා.
මෙම තත්වය උපයෝගී කරගනිමින්, සිය රජයේ සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස ප්‍රමාද කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරමින් සිටිනවා. දැනට එරට පිරිමින්ගේ විශ්‍රාම යෑමේ වයස 60 ක් වන අතර සුදු කරපටි රැකියාවල නිරත කාන්තාවන්ගේ විශ්‍රාම වයස 55 ක් සහ නිල් කරපටි රැකියාවල නිරත කාන්තාවන්ගේ විශ්‍රාම වයස අවුරැදු 60 ක් වනවා. මේ සියල්ල අහෝසි කර පොදුවේ විශ්‍රාම වයස අවුරැදු 65 කිරීමයි චීන ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ.
ලබන මාර්තු 1 වැනිදා සිට නව විශ්‍රාම වැටුප් නීතිය ක්‍රියාත්මක කරන බව කොමියුන්ස්ට් පක්ෂය නිවේදනය කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනි දින චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය කවුන්සිලය විසින් නිකුත් කරන ලද “ජාතික වයස්ගත සංවර්ධන සහ වැඩිහිටි සත්කාර සේවා පද්ධතිය සඳහා වූ 14 වැනි පස් අවුරුදු සැලැස්මේ” ප්‍රතිඵලයක් ලෙස මෙම නව නිතිය ක්‍රියාත්මක කරනු ලබනවා.
කෙසේවෙතත් සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු සහ චීනය පිළිබඳ විශේෂඥයෙකු වන ෆෙන්ග් චොන්ග්යී (Feng Chongyi) පෙන්වාදෙන්නේ චීනය මෙම නිතිය ක්‍රියාත්මක කිරීමට එකම හේතුව රටට අවශ්‍ය තරමින් මුදල් නොමැතිකම බවයි. පළාත් පාලන ආයතන විසින් සපයාදෙන අදායම්, විශ්‍රාම වැටුප් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බැවින් මධ්‍යම රජයට මෙලෙස ජනප්‍රිය නොවන තීරණයකට ගමන් කිරීමකට සිදුව ඇති බව මහාචාර්ය ෆෙන්ග් Epoch Times වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය 2013 වසරේ සිට දීර්ඝ කාලයක් පැවැති නමුත් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූයේ ශ්‍රම බලකාය ඊට දැඩි විරෝධයක් දැක්වූ නිසා බව චීන ඩිජිටල් වේදිකාවක් වන Tencent.com පෙන්වා දෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) පවුල් සැලසුම්කරණය නීතිය ‘ස්වාභාවික ජනගහන වර්ධන නීතිය’ විනාශ කර ඇති බවත්, එය චීනයේ පිරිමි සහ කාන්තා ජනගහනයේ අසමතුලිතතාවයට හේතු වූවා පමණක් නොව, ශ්‍රම බලකාය සැපයීමට ද බෙහෙවින් බලපා ඇති බවත්, චීනය වයස්ගත සමාජයක් බවට පත් කර ඇති බවත් මහාචාර්ය ෆෙන්ග් පෙන්වා දෙනවා.
මෙම නව නිතිය ක්‍රියාත්මක කිරීමත් සමගම චීන කොමියුනිස්ට් පක්ෂයට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එනම් මහලු පුද්ගලයන්ට විශ්‍රාම යාමට නොහැකි විමට සමගාමිව තරුණ ප්‍රජාවට පවතින රැකියා අවස්ථා සීමාසහිත වෙමින් පැවතීමයි. මේ නිසා සෑම වසරකම මිලියන ගණනක් උපාධිධාරීන්ට රැකියා නොමැතිව ලතවිමට සිදුවීම අනිවාර්යයිකෛසේවෙතත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, මූල්‍ය බලපෑම්වලට මුහුණ දීම සඳහා විශ්‍රාම ගැනීම ප්‍රමාද කිරීම අවසාන විසඳුම ලෙස සළකනවා. එහෙත්, මෙම මූල්‍ය බලපෑම් හේතුවෙන් අනාගතයේදී සිවිල් නොසන්සුන්තාවක් ඇති වන බවට මහාචාර්යවරයා අනතුරැ අගවනවා.
චීනය කියන්නේ ලෝක ජනගහනයට විශාලම දායකත්වය දක්වන රට. ඒ නිසාම චීනයට ජනගහනය පාලනය කරන්න විශාල නීති පද්ධතියක් පැනවීමට සිදුවෙලා තියෙනවා. එත් 50 දශකයේ සිටම චීනය තමන්ගේ ජනතාව වෙනුවෙන් පනවන ලද නීති පිටත පොදු ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා වෙන විදිහට සකස්වුණේ නැහැ කියන චෝදනාව බරපතල ලෙස එල්ල වෙනවා. චීනයට මෙලෙස තමන්ගේ ජනගහනය පාලනය කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට බලපෑ විශාලතම හේතුව වුණේ, හිටපු නායක මාඕ සේතුං විසින් ගෙන යන ලද ජනගහනය පිළිබඳව වූ ලිහිල් ප්‍රතිපත්තියේ පසු බලපෑමයි.
මාඕට අනුව ලෝකයේ තිබෙන වඩාත් වැදගත්ම දෙය මිනිසුන් වුණා. ඒ නිසාම මාඕ 1949 බලයට පත්වීමත් සමග, කෙටි කාලයක් තුල චීන ජනගහනය දෙගුණයක් බවට පත් වුණා. මාඕගේ දර්ශනයට අනුව ජනගහනය පාලනය ධනපති පන්තිය විසින් රටක් අඩාල කොට එය අනතුරට පත් කිරීම වෙනුවෙන් ගෙනගිය උපක්‍රමයක්. තවද ඔහු විසින් ජනගහන වර්ධන රැල්ලක් චීනය තුල ආරම්භ කරන්නේ ඔහුගේ ආරක්ෂණ ප්‍රතිපත්ති වලට සහායක් ලෙසයි. කොහොම උණත් කාලය වේගයෙන් ගෙවී යනවිට ජනගහනය ඉහල යෑම චීනයට විශාල බරක් බවට පත් වුණා.
1972/73 කාලය තුල ආරම්භ කරන ලද චීනයේ එක්දරු ප්‍රතිපත්තියට අදාළ අත්හදාබැලීම් හරහා ජාතික වශයෙන් උපත් පාලනයට අදාලව සැලසුම් හා සම්පත් ආයෝජනය ආරම්භ වුණා. මේ හරහා උපත් පාලනයට අදාලව රටේ සෑම මට්ටමක් ම (ග්‍රාමීය හා නගරබද ) නියෝජනය කරමින් උපත් පාලන ආයතනය නිර්මාණය කෙරුණා. එසේම නාගරික ප්‍රදේශ වල මහජන ආරක්ෂාව පිලිබඳ මූලස්ථාන වල ඒ වෙනුවෙන්ම වෙනම ඒකකයක් ආරම්භ කරනු ලැබුවා.
එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද ඒ වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක වුණා. මේ හරහා එක පවුලකට එක දරුවෙක් යන ක්‍රමය ක්‍රියාත්මක වුනා. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පළමු දරුවා ගැහැණු දරුවෙකුව හෝ විශේෂ අවශ්‍යතාවයන් සහිතව උපත ලැබුවහොත් ඔවුන්ට තව දරුවෙකු තම පවුලට එකතු කර ගැනීමේ අවස්ථාව ලැබුණා.
මෙලෙස ක්‍රියාත්මක කෙරුණු චීනයේ ජනගහන පාලන ප්‍රතිපත්තිය විසින් අද වන විට අර්බුද රැසක් නිර්මාණය කර තිබෙනවා. සංඛ්‍යා ලේඛනවලින් සහ දත්ත වාර්තාවලින් ඒ බව හොඳින්ම පැහැදිලි වෙනවා. චීනයේ අලුත්ම ජන සංගණන වාර්තාව 2021 මැයි මස මුලදී නිකුත් කෙරුණා. එම වාර්තාවට අනුව 2020 වසර තුළ චීනයේ දරුවන් මිලියන 12ක් බිහිවී තිබෙනවා. එමගින් පෙනීයන්නේ 2016 හා සසඳන විට පෙනී යන්නේ දරු උපත් විශාල ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි. 2016 දී දරුවන් මිලියන 18ක් උපත ලබා තිබුණා. ඒ අනුව මෙවර වාර්තා වී ඇත්තේ 1960න් පසු වාර්තාගත වූ අඩුම වාර්ෂික දරු උපත් ප්‍රමාණයයි.
ක්‍රමක්‍රමයෙන් දැන් චීනයේ සමස්ත ජනගහනය වර්ධනය වෙමින් පවතින බව ඇත්තකි. එහෙත් එම වර්ධනය මේ වන විට පවතින්නේ දශක කීපයකට පසුව වාර්තාවන අඩුම වේගයකින්. ඒ අනුව බලන විට චීනයේ පවතින ප්‍රශ්න අතරට, ජනගහනය අඩු වීමේ ප්‍රශ්නයටත් ඔවුන් සිතුවාට වඩා ඉක්මණින් මුහුණ දීමට සිදුවන බව පෙනෙන්නට තිබෙනවා. රටක ජනගහනය හැකිළීම ද ප්‍රශ්න ඇතිකිරීමට හේතුවක් වෙනවා. එමගින් රටේ වයස් ව්‍යුහය උඩු යටිකුරු වෙනවා. එමගින් තරුණ ප්‍රජාවට වඩා වයස්ගත ජනගහනය වැඩි කරනු ලබනවා. එසේ වූ විට, සිදුවන්නේ රටක වැඩිහිටි පරම්පරාව රැකබලා ගැනීම සඳහා අවශ්‍ය පිරිස හිඟවීමයි. සෞඛ්‍ය සහ සමාජ සුබ සාධනය සඳහා ඇතිවන ඉල්ලුම වැඩිවීමයි.
මිට අමතරව ඇතැම් මානව විශේෂඥයන් පවසන්නේ සිය එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් චීනය මීට වඩා වෙනස් ප්‍රශ්නයකටද මුහුණ දෙමින් සිටින බවයි. දරුවන් හැදීමට පෙර විවාහ වීමට බිරියක් සොයාගැනීම චීන පිරිමින්ට ප්‍රශ්නයක් වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා. අවසානයේ මෙය, රටේ ස්ත්‍රී – පුරුෂ අසමතුළිතභාවයේ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන බවත්, 2020 වසරේ චීනය තුළ කාන්තාවන්ට වඩා මිලියන 34.9ක් පිරිමි වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.




