පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගෙන ඇතැමුන් ජාතිවාදී ගැටුම් ඇවිළවීමට උත්සහ කරනවා – ජනපති

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දවසේද, තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර හෝ කවර ප්‍රදේශයක වුවද කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එසේම යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය තම පාලන කාලය තුළ විසඳන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමේ ‘තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහන 2026 සමාරම්භක අවස්ථාවට අද (16) පෙරවරුවේ චාවකච්චේරිය, මීසාලේ, වීරසිංහ ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී එක් වෙමිනි.

මෙහිදී නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ධීවර , ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතින් යුද්ධයෙන් අවතැන් වූ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 800ක් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 20ක් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 03 බැගින් වූ චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරු පළාත පුළුල් සංවර්ධනයකට ගෙන එමින් එහි ජන ජීවිතය ඉහළට ඔසවා තැබීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබෙන බවයි.

ඉතා මනරම් වෙරළ තීරයකින් සහ ආකර්ෂණීය ස්ථාන රැසකින් පිරි ඇති යාපනය දිස්ත්‍රික්කය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉහළ විභවතාවක් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පලාලි ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණයට කටයුතු කරන බවත්, කන්කසන්තුරේ වරායේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළ අතර ඒ වෙනුවෙන් ඉන්දියානු රජය යටතේ ඩොලර් මිලියන 60ක ආධාරයක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙන බවද පැවසීය.

පළමු වතාවට උතුරේ ජනතාව විශ්වාස කරන ආණ්ඩුවක් අද රට තුළ නිර්මාණය වී ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම විශ්වාසය බිඳ වැටීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බවත්, බිඳුණු හදවත් යා කරමින් සහ සැකය හා අවිශ්වාසය තුරන් කරමින් දරුවන් වෙනුවෙන් ගැටුම්වලින් තොර, සමඟියෙන් ජීවත්විය හැකි රටක් ගොඩනඟා දීමට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

යුද්ධයේදී විශාල නිවාස ප්‍රමාණයක් හානියට පත් වුණා. නමුත් විශාල කාලයක් ගතවී තිබුණත් එම නිවාස මුළුමනින් ඉදිකර අවසන් කර නැහැ. මම දන්නවා මේ යාපනයේ දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව යුද්ධය කාලයේත් අවතැන්වී සිටියා. යුද්ධයෙන් පසුවත් අවතැන් වී සිටිනවා. දීර්ඝ කාලයක් තමන්ගේම වූ නිවසක් නොමැතිව, තමන්ටම වූ තැනක් නොමැතිව පවුලක් ජීවත් වීම එතරම් යුක්ති සහගත දෙයක් නොවෙයි. ඒ නිසා අපේ කාලය ඇතුළත, යුද්ධයෙන් අවතැන්වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපි විසඳනවා.

මම දන්නවා මේ ප්‍රදේශවල සිටින ජනතාව විශාල බලාපොරොත්තුවකින් සහ අපේක්ෂාවකින් යුතුව මේ ආණ්ඩුව පත් කර ගැනීමට දායකත්වය ලබා දුන්නා. දීර්ඝ කාලයක් මේ පළාත්වල සිදු වුණේ පවතින ආණ්ඩුව සමග විරුද්ධ, ආණ්ඩුව සමග එකඟ නොවන මතවාදයක් ඇති වීමයි. එය වැරදි නැහැ. ආණ්ඩුව ජාතිවාදය පෝෂණය කරනවා නම්, ආණ්ඩුව ජනතාවගේ දේපොළ සොරකම් කරනවා නම් ආණ්ඩුව පොදු ජනතාව ගැන කල්පනා කරන්නේ නැතිව ඒ අය ගැන විතරක් කල්පනා කරනවා නම් ජනතාව සහ ආණ්ඩුව ඈත්වීම වළක්වන්න බැහැ. ඒවා ජනතාවට විරුද්ධ ආණ්ඩු. ගැටුම් හදන ආණ්ඩු. තමන්ගේ පවුලේ අය වෙනුවෙන් විතරක් හදාගන්න ආණ්ඩු. හැබැයි අද ලංකාවේ පළමු වතාවට මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා.

මම දන්නවා මැතිවරණවලදී විශේෂයෙන් උතුරේ ජනතාව තුළ අප පිළිබඳ යම් කුකුසක්, දෙගිඩියාවක් සැකයක් තිබෙන්න ඇති. අපි බලයට ගේන්න ඡන්දය දුන්නත් යම් සැකයකින් යුතුව ඡන්දය දෙන්න ඇති. දැන් අපි ආණ්ඩුව හදලා වසරකට ටිකක් වැඩි කාලයක් ගත වී තිබෙනවා. තවත් සැකයක් තිබෙනවද? අද පළමු වතාවට යාපනයේ ඔබ විශ්වාස කරන ආණ්ඩුවක් රටේ හැදිලා තිබෙනවා. අපි ඔබට එකක් කියනවා පළමු කොටම අපි අසීරුවෙන් ජීවත්වන ජනතාවගේ ජීවිත සුවපත් කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුක් ලෙස කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා.

ගෙයක් නැති කෙනෙකුට ගෙයක් ලබා දෙන්න අපි කටයුතු කරන්නම්. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් අපි මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. හොඳ ආදායම් මාර්ගයක් සකස් කර දිය යුතුයි. විශේෂයෙන් කෘෂිකර්මාන්තය, පොල් කර්මාන්තය, ධීවර සහ කුඩා කුඩා සුළු කර්මාන්ත මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග බවට පත්ව තිබෙනවා. අපේ ආණ්ඩුවේ අරමුණ එම සෑම කර්මාන්තයක් සඳහාම අවශ්‍ය සහාය ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය මීට වඩා උසස් කිරීමයි. අපි ඒ වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්.

දීර්ඝ කාලයක් ගැටුම් තිබුණා. අපි කිසිවෙකුට ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මොනවද ඒ ගැටුමෙන් අපිට ඉතිරි වුණේ. නිවාස අහිමි වූ පවුල්, අම්මා, තාත්තා අහිමි වූ දරුවන්, ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා, ඥාතීන්, මිතුරන් අහිමි වෙලා. උතුරේත්, දකුණේත් ජනතාව මේ යුද්ධයේ ගොදුරු බවට පත් වුණා. ඒ මුළු විනාශයම පිටුපස තිබුණේ දේශපාලනය. බලය ලබා ගැනීම. බලය ලබා ගැනීම වෙනුවෙන් සිංහල ජනතාව උසි ගන්වනවා. බලය ලබා ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව උසි ගන්වනවා. මෙවන් ජාතිවාදී දේශපාලනයක් තිබුණා.

අදත් තැනින් තැන එක්කෝ පුරාවස්තුවක් කේන්ද්‍ර කරගෙන, එක්කෝ ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන මේ ජාතිවාදී ගැටුම් අවුළවන්න උත්සාහ කරනවා. මම ඔබට එක සහතිකයක් දෙන්නම්. යළි අපේ රටේ උතුරේද, දකුණේද, නැගෙනහිරද කවර ප්‍රදේශයක වුවද සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා කිසිදු ජාතිවාදයකට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා.

සියලුදෙනා සහෝදරත්වයෙන්, සමගියෙන් ජීවත්වන රටක් අපිට අවශ්‍යයි. ඒ වගේම හොඳ ආර්ථිකයක් තිබෙන විනෝදය, සතුට තිබෙන ජීවිතයක් අපිට අවශ්‍යයි. අපි මේ යාපනයේ විශාල ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එහි වැඩකටයුතු අපි මේ වසර තුළ ඉතා වේගයෙන් අවසන් කරනවා. දරුවන්ට ක්‍රීඩා කරන්න, තමන්ගේ සතුට, විනෝදය එක් කර ගැනීමට එම අවස්ථාව අපි ඇති කළ යුතුයි. ඒ වගේම යාපනයේ නගරයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අපි සැලසුම් කළා. නමුත් දේශපාලකයන් විසින්ම අධිකරණයට ගිහින් නඩුවක් දැම්මා. ඒ ගෘහස්ථ ක්‍රීඩාංගණය යාපනයේ දරුවන්ට අවශ්‍යයි. හැබැයි දේශපාලකයන් නඩු දානවා. ඒ කියන්නේ ඔවුන් කරන්නේ ජනතාවට විරුද්ධ දේශපාලනයක්. අපි ඉතා ඉක්මණින් ඒ නඩුව අවසන් කර ඒ ආසන්න තැනක එම ගෘහස්ථ ක්‍රීඩාංගණය මේ වසරේ ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම අද ලංකාවේ විශාල ආර්ථික පිම්මක් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදු වෙනවා. යාපනය දිස්ත්‍රික්කය ඉතා මනරම් වෙරළ තීරයකින් සහ විශාල ආකර්ශනීය ස්ථාන රැසකින් පිරි තිබෙනවා. හැබැයි තවමත් ශක්තිමත් සංචාරක කර්මාන්තයක් නැහැ. පලාලි ගුවන් තොටුපොළේ අඩු පාඩුකම් සම්පූර්ණ කර එය ප්‍රතිසංස්කරණය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඉතා ඉක්මණින් කන්කසන්තුරේ වරායේ වැඩකටයුතු ආරම්භ කරනවා. ඉන්දියානු රජය ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 60ක ආධාරයක් ලබා දීමට එකඟ වෙලා තිබෙනවා. අපිට අවශ්‍යයි ඉතා දියුණු සංචාරක කර්මාන්තයක් යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්න. ඒ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා.

මෙහි සිටින දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත කාලයේ පළමු අවස්ථාව වෙන්න ඇති අමාත්‍යවරු, ජනාධිපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහභාගීවන රැස්වීමකට සහභාගී වී සිටින්නේ. මේ බිඳුනු හදවත් අපි යා කළ යුතුයි, සැකය අවිශ්වාසය තුරන් කළ යුතුයි. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා, ගැටුම් ඇති කර ගත්තා. අපේ දරුවන්ගේ පරම්පරාවට ගැටුම් නැති රටක්, සමගියෙන් ජීවත්වන රටක් අපි හදන්න ඕන. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියා ආරාධනා කරනවා.

නිවාස, ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා

ජාතික නිවාස වැඩසටහන යටතේ අද දිනයේදි යුද්ධය නිසා අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා ආධාර ලබා දීම සිදු වෙනවා. රට තුළ නිවාස ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වන අතර ඒ යටතේ පසුගිය කාලයේ ඇති වූ සුළි කුණාටුවෙන් ඇති වු ආපදා තත්වයය තුළ නිවාස අහිමි වූවන් වෙනුවෙන් වූ නිවාස වැඩසටහන හා අද ආරම්භ කරන ජාතික නිවාස වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

මෙම ජාතික නිවාස වැඩසටහන අමාත්‍යංශ පහක් යටතේ ක්‍රියාත්මක වන අතර එයින් නිවාස 31218ක් ඉදිකිරිමට බලාපොරොත්තු වෙනවා. එයට යුද්ධයෙන් අවතැන්ව නිවාස අහිමි වු උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරිමේ වැඩසටහන පවතිනවා. ඒ සඳහා එක් නිවසකට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් මිලියන 5000ක් වෙන්කර තිබෙනවා.

යාපනය දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමරන් මහතාද

යුද්ධයෙන් අවතැන් වූ පවුල් දහනව දහසක් පමණ උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි ජීවත් වෙනවා.
ඒ අතරින් 2500ක් සඳහා මේ වසරේදී නිවාස ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා.

මීට පෙර නිවාස ව්‍යාපෘති සඳහා ලැබුණ මුදල නිවසක් ඉදි කිරිමට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා
ජනාධිපතිතුමා ඒ ආධාර මුදල ලක්ෂ දහයේ සිට පහළොව දක්වාත් ඉන්පසු ලක්ෂ විස්ස දක්වාත් වැඩි කරමින් ජනතාවට වඩාත් හොඳ ජල විදුලි පහසුකම් සහිත නිවසක් ඉදිකර ගත හැකි තත්වයක් උදාකර දී තිබෙනවා.

නිවාස ව්‍යාපෘති පමණක් නොව මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ සිහින සැබෑ කිරීම සඳහා වෙනත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. රජයේ සේවාවන් වඩාත් පහසුවෙන් ජනතාවට ලබා ගැනීමට මෙන්ම රජයේ සේවකයන්ට වඩාත් පහසුවෙන් සේවය කළ හැකි වටපිටාවක් නිර්මණය කළ යුතුයි යන අදහසේ ජනාධිපතිවරයා සිටිනවා. වසරින් වසර උතුරේ ජනතාව තුළ ජාතික ජනබලවේගය ආණ්ඩුව කෙරෙහි වන විශ්වාසය තහවුරු වෙමින් පවතින අතර එය වඩාත් ශක්තිමත් බැඳීමක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරනවා.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එල්. බී. කුමුදුලාල් මහතා උත්සව සභාව පිළිගනිමින් අදහස් දැක්වීය.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, ෂන්මුගනාදන් භවනන්දරාජා, සිවඥානම් ශ්‍රීධරන්, ජී.ජී. පොන්නම්බලම්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාතේ මහජන නියෝජිතයන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-16

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?