නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අද(27) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටි අතර, කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් පෙනී සිටියා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා.
මෙම නඩුකරය සමථයකට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවයි මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චායා ශ්‍රී නම්මුණි අධිකරණයට දැනුම් දී තිබුණේ.
නීතිපතිවරයාගේ දැනුම්දීම මත සමථයක් සලකා බැලීම සඳහා අද දින මේ නඩුව කැඳවා ඇති බව පෙත්සම්කාර නියෝජ්‍ය මහලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණයට දන්වා සිටියා.
හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් කරුණු දක්වා ඇත්තේ වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් යම් යම් සිද්ධීන් සමුදායක් හේතුවෙන් තමා කෙරෙහි ඇති කරගත් පෞද්ගලික ද්වේශයක් හේතුවෙන් කථානායකවරයා වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් නිතිවිරෝධී ලෙස තමාගේ වැඩ තහනමට ලක්කර ඇති බව මෙම පෙත්සම මඟින් දක්වා ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව එකී නීති විරෝධී වැඩ තහනම ඉවත් කර තමා නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබෙන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
මීට පෙර මෙම නඩුව කැඳ අවස්ථා දෙකේදී නීතිපතිවරයා කථාකායකවරයා වෙනුවෙන් පෙනී සිටිය නමුත් අද දින අධිකරණයේ දී පෙනී සිටියේ නැහැ.
එම අවස්ථාවේදි රජයේ නීතීඥ අභිගේල් ජයකොඩි මහත්මිය අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවේ මින් ඉදිරියට දෙවන වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් නිතිපතිවරයා පෙනී නොසිටින බවයි.
ඒ අවස්ථාවේදි කථානායකවරයා විසින් පෞද්ගලික නීතිඥ සහය ලබා ගෙන
තිබුණා.
ජනාධිපති නීතීඥ කේ. කනගේෂ්වරන් තමා දෙවන වගඋත්තරකරු වන කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටින බව එහිදී අධිකරණයට දැනුම් දුන්නා.
නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ උදිතඉගල හේවා, පාර්ලිමේන්තු සහකාර මහලේකම් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා සමඟින් නීතිඥ සුරෙන් ඥනරාජ්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක හා හිටපු විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිසත් විජයගුණවර්ධන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රරි , හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා සහ හිටපු සහානායක සුනිල් ප්‍රේමජයන්ත වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටියා.
වගඋත්තරකාර සහානායක බිමල් රත්නායක වෙනුවෙන් ජනාධිපති නීතීඥ නයිජිල් හැව් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වෙනුවෙන් නීතීඥ ශාන්ත ජයවර්ධන කථානායක පුද්ගලික ලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයේ පෙනී සිටියා.
මෙම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ලබන 20 දිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් එකී විරෝධතා සම්බන්ධයෙන් ප්‍රති විරෝධතා මැයි 26 දිනට පෙර ගොනු කරන ලෙසත් වග උත්තරකරුවන් හා පෙත්සම්කාර පාර්ශවයට අධිකරණය විසින් නියම කරනු ලැබුවා.













