2013 වසරේදී රතුපස්වල විරෝධතාවට සහාය පළ කළ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගාලු මුවදොර අරගල භූමියේ මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
මේ අතර රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා සිහිකර ගාලුමුවදොර අරගල භූමියේදී විරෝධතාවයක් පැවැත්වුනි.
එසේම මියගිය පුද්ගලයා වෙනුවෙන් ශෝකය පළකරමින් පිරිස මිනිත්තු 2ක නිහඬතාවයක් ද ආරක්ෂා කළේය.
ජන අරගලය අද ක්‍රියාත්මක වන්නේ 12 වන දිනටය.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතාවයට ඊයේ රාත්‍රියේත් විවිධ ප්‍රදේශවලින් පිරිස් පැමිණියේය.
එක්සත් රාජධානියේ 2022 ඔලිවියර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ හිරාන් අබේසේකර ද ගාලුමුවදොර ජනතා අරගලයට ඊයේ රාත්‍රියේ සහභාගී වී තිබුනි.
විරෝධතා භූමියේ පැය 24ක සත්‍යග්‍රහයක් ඊයේ ආරම්භ කළ කායවර්ධන ශූර ප්‍රසන්න පීරිස් අද එය අවසන් කළේය.
විරෝධතාකරුවන්ට අවශ්‍ය නීතිමය සහයෝගය ලබා දීමට සහ නීති උපදෙස් ලබාදීමට නීතීඥවරු රැසකගේ සහභාගීත්වයෙන් අද විශේෂ වැඩසටහනක් ද අරගල භූමියේ සංවිධාන කර තිබුනි.
රඹුක්කන සිද්ධිය පිළිබඳ සිය මතය පළ කිරීම සඳහා අරගලකරුවන් සහ කලාශිල්පීන්ගේ සහභාගීත්වයෙන් අරගල භූමියේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුනි.
මේ අතර ගාලුමුවදොර අරගලයට සහාය දක්වමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරත වුනි.














