නව ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා පැනවෙන සංචාරක තහනම

දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා තම රටට පනවා ඇති සංචාරක තහනම විවේචනය කරමින්, එම තහනම යුක්තිසහගතදැ යි ප්‍රශ්නකර ඇත. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථම වරට හමුවූයේ දකුණු අප්‍රිකාවෙනි.

“සංචාරක තහනම විද්‍යාත්මක නැහැ. ඒ වගේම, මෙම ප්‍රභේදය පැතිරීම වැළැක්වීමේ දී එය ඵලදායී වන එකක් නැහැ,” ජනපති සිරිල් රමෆොසා ප්‍රකාශ කළේ ය.

බොහෝ රටවල් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයින් සිය රටට ඇතුළුකර ගැනීම සීමාකර හෝ තහනම්කර ඇති අතර, එක්සත් රාජධානිය දැන් නයිජීරියාව ද සංචාරය සීමාකර ඇති අප්‍රිකානු රටවල් ලැයිස්තුවට එක්කර තිබේ.

ඉතින්, ජනපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව විද්‍යාව පවසන්නේ කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය කුමක්ද?
ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිකුත්කළ නිවේදනයක් මඟින්, පොදුවේ ක්‍රියාත්මක කෙරෙන සංචාරක තහනමට විරුද්ධව අනතුරු අඟවා තිබුණි. එහි සඳහන් වූයේ සංචාරක තහනම හරහා ගෝලීය පැතිරීම වැලැක්විය නොහැකි බව යි.

එසේම, එමඟින් “ජන ජීවිතය සහ ජීවනෝපාය මත විශාල බරක් පටවන බව” ද එහි සඳහන් ය.

“මෙමඟින්, වසංගත රෝග සහ අනුක්‍රමික දත්ත වාර්තා කිරීමට සහ බෙදා ගැනීමට රටවල් තුළ පෙලෙඹුමක් ඇතිවීම හරහා ගෝලීය සෞඛ්‍ය ප්‍රයත්නයන්ට අහිතකර බලපෑම් ඇතිවිය හැකියැ”යි ද එය පවසයි.

නිවේදනයේ සඳහන් වන්නේ, “අවදානම මත පදනම් වූ, කාලසීමා සහිත” ප්‍රවේශයක් රටවල් විසින් අනුගමනය විය යුතු බව යි.

2020 පෙබරවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ, සංචාරක තහනම් පැනවීම රට තුළට පැමිණෙන කොවිඩ් රෝගීන් වැළැක්වීමෙහිලා “සාමාන්‍යයෙන් ඵලදායී නොවන” බව යි. එමෙන්ම එයින් සැලකිය යුතු ආර්ථික හා සමාජීය බලපෑමක් ඇතිකළ හැකි බව ද ඔවුන් ප්‍රකාශ කළේ ය.

“ජාත්‍යන්තර ගමනාගමනයට සැලකිය යුතු බාධා එල්ල කරන සංචාරක පියවර එලදායී විය හැක්කේ වසංගතයක් පැතිර යාමේ ආරම්භක සමයේ දී පමණකි. ඒවා වසංගතයට මුහුණදීම සඳහා සූදානම් වීමට රටවලට කාලය ලබාදෙයි,” එකල ඔවුන් ප්‍රකාශකර තිබුණි.

එවකට එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කළ අතර, චීනයෙන් සහ යුරෝපයෙන් එක්සත් ජනපදයට පැමිණෙන ගුවන් ගමන් නැවැත්වීම සඳහා ඔහු ගත් තීරණයට සහාය දැක්වීමට එම සංවිධානය අපොහොසත් බව ද චෝදනා කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස නොසලකා හැරි සිංගප්පූරුව සහ තායිවානය වැනි ආසියාතික රටවල් මුල සිටම චීනයෙන් පැමිණෙන මඟීන් සීමාකළ අතර, ලොව පුරා වෙනත් බොහෝ රටවල් ද ඔවුන් අනුගමනය කළේ ය.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය මාර්ගෝපදේශයන් යාවත්කාලීනකර ඇති අතර, දැනට සංචාරක තහනම් පැනවීම සඳහා “අවදානම මත පදනම් වූ” ප්‍රවේශයක් නිර්දේශකර තිබේ.

රටවල්, එන්නත් කිරීම හෝ රෝගය ස්වාභාවිකව ආසාදනය වීමෙන් ප්‍රතිශක්ති මට්ටම වැඩිවීම, ප්‍රභේදවල පැතිරීම සහ කොවිඩ් පරීක්ෂණ සහ නිරෝධායනය වැනි ක්‍රියාමාර්ගවල සාඵල්‍යතාව ආදිය ජාත්‍යන්තර සංචාර සීමා කිරීමේ දී සැලකිල්ලට ගත යුතු බවත් එහි සඳහන් වේ.

කෙසේ නමුත් එහි මෙසේ ද සඳහන් වේ: “වෛරස ප්‍රභේදයන් අන් රටවලට ද අවදානමක් ඇති කළ හැකි තත්ත්වයක පවතින රටවල් ආරක්ෂාකාරී ප්‍රවේශයක් අනුගමනය කළ යුතු අතර, කාලසීමාවලට යටත්, වඩාත් දැඩි සංචාරක සීමාවන් ක්‍රියාත්මක කළ යුතු ය.”

විද්‍යාත්මක සාක්ෂි මොනවා ද?

පසුගිය වසරේ දී, වසංගතයේ ආරම්භක අදියරෙන් පසුව සිදුකළ අධ්‍යයනයන් හෙළි කළේ සංචාරක සීමාකිරීම් මඟින් අවම වශයෙන් වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට මූලික බලපෑමක් හෝ සිදුකර ඇති බව යි.

2020 දෙසැම්බරයේ Nature සඟරාවේ පළවූ පර්යේෂණයකින් පවසන්නේ සංචාරක සිමාකිරීම් මුල්ම කාලයේ සාර්ථක වූ නමුත්, පසුව ඒවා ක්‍රියාත්මක කළ අවස්ථාවන්හි දී ඵලදායීත්වයෙන් අඩු වූ බවකි.

ජර්මනියේ WZB බර්ලින් සමාජ විද්‍යා මධ්‍යස්ථානය පසුගිය වසරේ රටවල් 180කට වැඩි සංඛ්‍යාවක සංචාරක සීමාකිරීම් සහ මරණ අතර සම්බන්ධයක් නිරීක්ෂණය කරමින් පසුගිය ඔක්තෝම්බරයේ දී සිදුකළ අධ්‍යයනයකින් ද එළඹ තිබුණේ මීට සමාන නිගමනවලට ය. එමෙන්ම:

විශාලතම බලපෑම ඇතිව තිබුණේ මරණ 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමට පෙර රටවල් විසින් සංචාරය තහනම් වීමෙනි
සියලුම සංචාරකයින් සඳහා නිරෝධායනය අනිවාර්ය කිරීම, රටට ඇතුළුවීම තහනම් කිරීමට වඩා (ඇතැම් අවස්ථාවන්හි දී විදේශයන්හි සිට පැමිණෙන රටවැසියන්ට එම නීතිය බල නොපෑ විට ද) ඵලදායී විය
සියලුම විදේශීය සංචාරකයින්ට පැනවෙන සංචාරක තහනම් කිරීම්වලට වඩා, විශේෂිත රටවල් ඉලක්කකර පැනවෙන සීමාවන වැඩි බලපෑමක් ඇතිකර තිබේ
වසංගතයේ මුල් අවධියේ දී එක්සත් රාජධානියේ සංචාරක සීමාකිරීම් අවම මට්ටමක පැවති සමය පිළිබඳ පර්යේෂණවලින් පෙනීගියේ, වසංගතය දහස් වාරයකට වඩා රටට ඇතුළු වී (බොහෝ විටම යුරෝපයේ වෙනත් රටවලින්) ඇති බව යි.

නව ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට අවම වශයෙන් රටවල් දොළහකින් පමණම හඳුනාගෙන ඇති අතර, මෙම ලැයිස්තුව වර්ධනය වෙමින් පවතියි.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයයේ වසංගත රෝග විද්‍යාඥවරියක වන වෛද්‍ය දීප්ති ගුරුදසානි බීබීසී පුවත් සේවයට පැවසුවේ, සංචාරක තහනම නිසා වසංගතය පැතිරීම මන්දගාමී විය හැකි නමුත් එය පැහැදිලිවම දැනටමත් ලෝකයේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බව යි.

“සංචාරක තහනම් පැනවීමට වඩා, අපට තියෙන්න ඕනේ නිසියාකාර පරීක්‍ෂණ පහසුකම් සහ හුදකලාකිරීමේ ප්‍රතිපත්ති. මඟින් වසංගතය පැතිරීම මන්දගාමී වෙන්නේ ඒවායින්,” ඇය පැවසුවා ය.

වසංගතයේ මුල් අවධියට වඩා මේ වන විට සිදුව ඇති එක් ප්‍රධාන වෙනස්කමක් වන්නේ, දැන් ලොව පුරා එන්නත්කරණය ව්‍යාප්ත වෙමින් පැවතීම යි.

කෙසේ වෙතත්, එන්නත් කිරීමේ වේගය රටකින් රටකට බොහෝ සෙයින් වෙනස් වේ. එසේම, ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ඒවායේ කාර්යක්ෂමතාව ද තවමත් අවිනිශ්චිත ය.

එසේම සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස රඳා පවතින රටවල් උදාහරණයක් වශයෙන් ගතහොත්, සංචාර සීමා පැනවීම හරහා ඒවායේ ආර්ථිකයට සිදුවන හානිය ද සලකා බැලීමට සිදුවේ.

දැඩිම සංචාරක තහනම ඇත්තේ කාට ද?
පසුගිය නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාව පළමු වරට සිය ජාත්‍යන්තර දේශසීමා විවෘත කළේ ය. ඒ, විශේෂ අවසරයක් සහිත සිය පුරවැසියන්ට පමණක් රටින් පිටවීමට හෝ රටට ඇතුළු වීමට අවසර දී තිබූ මාස 18කට පසුව ය.

විදේශීය සිසුන්ට සහ පුහුණු සංක්‍රමණිකයන්ට එරටට ඇතුළුවීම සඳහා අවසර දීමේ සැලසුම් මේ වන විට කල්දමා තිබේ.

නවසීලන්තය පසුගිය වසරේ සිටම සිය දේශසීමා වසා දමා ඇතිමුත්, නව වසර ආරම්භයේ සිට ඔවුන්ගේ පුරවැසියන් සහ ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රලාභීන් සඳහාත්, අප්‍රේල් මාසයේ දී එන්නත් කරන ලද සංචාරකයන් සඳහාත් සිය රට නැවත විවෘත කරන බව එරට රජය නිවේදනයකර තිබේ.

වියට්නාමය ද දීර්ඝතම සංචාරක තහනමක් පනවා තිබූ රටවලින් එකක් වන අතර, ඔවුන් මේ මාසයේ දී පළමු වරට එහි දේශසීමා විවෘත කරයි.

මෙවසරේ ජුලි මාසයේ දී ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමට පෙර, මෙම රටවලින් වාර්තා වූයේ සාපේක්ෂව අඩු රෝගීන් සංඛ්‍යාවකි.

කෙසේ නමුත්, ලොක්ඩවුන් පැනවීම ද, කොවිඩ් සඳහා පුළුල්ව පරීක්ෂා කිරීම ද, මුහුණු ආවරණ පැළඳීම වැනි ආරක්ෂක උපක්‍රම ද, අවම වශයෙන් වසංගතයේ පළමු අදියරේ දී හෝ ආසාදිතයන් සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා සංචාරක තහනම් පැනවීම තරමටම වැදගත් වන්නට ඇත.

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40