රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක කප්පම් මුදලක් ලබාගත බවට ලද පැමිණිල්ලක් මත සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කුරුවිට පොලිසිය මඟින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එන්ජින් ධාරිතාවය 1000cc වර්ගයේ යතුරුපැදියක් විකිණීමටඇතැයි කුරුවිට ප්‍රදේශයේ තරුණයෙක් වට්ස්ඇප් සමාජ මාධ්‍ය සමූහයකට දැමූ පණිවුඩයක් දැක, ඒ ඔස්සේ පොලිසියෙන් බව පවසා තරුණයාගේ නිවෙසට පැමිණි ඇති සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදිය හිමි තරුණයාගේ පියාගෙන් කප්පම් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සැකකරු රුපියල් දසලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, එවැනි මුදලක් ලබාදීමට නොහැකි බව තරුණයාගේ පියා පවසා තිබෙනවා.
එහිදී පන්ලක්ෂයක මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති අතර, එම මුදලින් රුපියල් ලක්ෂ තුනක් ලබාදීමට එකඟවීමෙන් අනතුරුව කුරුවිට – දැරණියගල මාර්ගයේ දී රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක මුදලක් සැකකරුට ලබාදුන් බවයි තරුණයාගේ පියා පොලිසිය පැමිණිලි කර ඇත්තේ.
එම මුදල ලබා ගැනීමට සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවත් පුද්ගලයෙකු ද සමඟ මෝටර් රථයකින් පැමිණි බවද පැමිණිල්ලේ සඳහන්.
කෙසේ වෙතත් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පසුව යතුරුපැදිය රැගෙන කඩුවෙල පොලිසිය අසලට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, මුදල් ලබා දුන්න ද එම පොලිස් නිලධාරියාගෙන් සිදුවන කරදරය අවසන් නොමැති නිසා මේ පිළිබඳව තරුණයාගේ පියා ඔහුට හිතවත් පොලිස් නිලධාරියෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පවසා තිබෙනවා.
ඒ, අනුව මධ්‍යම අපරාධ කොට්ථාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියසිංහගේ උපදෙස් අනුව මේ පිළිබඳව සබරගමු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ නියෝග සහ අධික්ෂණයෙන් කුරුවිට පොලිසිය මඟින් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.













