ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.
ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙන බවත්, ඒ අනුව ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළා.
මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙන බවත්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවත් ඔහු පවසනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට ඊයේ (23) එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ බව ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම,
“ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම රජය, පෞද්ගලික අංශය, මහජනතාව ඇතුළු සියලු පාර්ශ්ව එක් කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වෙනවා. මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලීනව ක්‍රියාත්ම කිරීම තුළින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ඇති වන මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් ජුනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. එම නිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්ව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුයි.
ඩෙංගු රෝගයට ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකියි. වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක්ම වයස අවුරුදු 15 ට වැඩි අයයි. මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක්. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළදිය හැකියි. ප්‍රධාන වශයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම ඉතා වැදගත්. පිරිසිදු ජලය ඒකරාශී වන ස්ථානවල තමයි බොහෝ විට ඩෙංගු මදුරුවා රැඳී සිටින්නේ. ඉවත දමන ප්ලාස්ටික්, පරණ ටයර්, මල්පෝච්චි, පොල් කටු, තැඹිලි කෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වෙනවා. හැකි තරම් දුරට එවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමටත් පියවර ගත යුතුයි.
ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවීමට නම් මදුරුවන් දෂ්ට කිරීමට ඉඩ ලබා නොදීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ශරීරය වැසෙන ලෙස ඇඳුම් භාවිතා කළ හැකියි. ඒ වගේම මදුරු විකර්ෂණ ආලේප තිබෙනවා. එමගින් ද මදුරුවන් දෂ්ට කිරීම පාලනය කරගත හැකියි. නමුත් මේ සියලුම ක්‍රම සියයට සියයක්ම සාර්ථක නැහැ.
ප්‍රාදේශීය සභා, නගර සභා, මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් රෝගය පාලනය කිරීම සදහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඩෙංගු රෝගය වැඩි වැඩියෙන් බෝ වන පළාත් කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම බහුතරයක් රෝගීන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඉදිරි සතිය ඇතුළත විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීමට ඒ අනුව කටයුතු කෙරෙනවා. මේ සදහා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීමට එකඟ වී තිබෙනවා. ජලය පිරුණු භාජනවල ජලය ඉවත් කළත් මදුරු කීටයන් රැඳී සිටිය හැකියි. එම නිසා ඒවාත් හොඳින් පිරිසිදු කොට නැවත ජලය එක්රැස් නොවන ලෙස තැබිය යුතුයි. සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය පවතින්නේ දින පහක් හෝ හයක්. ඒ නිසා සතිපතා පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔබ සිටින අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයයෙන්ම කළ යුතු වෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම තනි පුද්ගලයකුට පමණක් කරන්න බැහැ. ඒ වගේම එය ආයතන කිහිපයකට පමණක් කරන්නත් බැහැ. මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි.
ඩෙංගු රෝගය වැළඳුණු කෙනෙක් නම් වෙහෙස මහන්සි වී වැඩ නොකළ යුතුයි. විවේක ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුණහොත් සංකූලතා ඇති වීමේ සම්භාවිතාව වැඩියි. උණ සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිතා නොකළ යුතුයි. කිසිම උණ රෝගියකුට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබා නොදෙන ලෙසට උපදෙස් දී තිබෙනවා. ඇතැම් විට පැරසිටමෝල් ඖෂධයට උණ සම්පූර්ණයෙන්ම පාලනය නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල රෝගීන් බිය විය යුතු නැහැ. උණ තිබුණා කියලා බරපතල ගැටලුවක් වෙන්නේ නැහැ. ශාරීරිකව විවේක ගැනීම තුළින් සංකූලතා අවම කර ගන්න පුළුවන්. තැඹිලි, දෙහි, දොඩම්, ජීවනී වැනි දියර වර්ග භාවිතා කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි.”