ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් අද (06) එක්සත් ජනපද ආරක්ෂක විධායක නිලධාරීන් හමු වී ආයුධ නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිර නිලධාරියෙකු බීබීසී පුවත් සේවයට තහවුරු කර තිබෙනවා.
මෙම රැස්වීම ධවල මන්දිරයේදී පැවැත්වෙන අතර, රේතියන් හි මව් සමාගම වන ලොක්හීඩ් මාටින් සහ RTX ඇතුළු සමාගම් කිහිපයක් මේ සඳහා සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ආයුධ සැපයුම් නැවත සම්පූර්ණ කර ගැනීම සඳහා පෙන්ටගනය කටයුතු කරන බැවින් සහ තවත් මිලිටරි උත්සාහයන් කිහිපයකින් පසු ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
එමෙන්ම මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ එක්සත් ජනපදය සතුව ඕනෑ තරම් යුධෝපකරණ පවතින බවයි.
එමෙන්ම ඉරානයට එරෙහි සිය මෙහෙයුම අවශ්‍ය තාක් කල් පවත්වාගෙන යා හැකි බවත් ඔහු එහිදී අවධාරණය කළා.
මේ අතර අවි බිම තබා වහාම යටත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබෙනවා.
ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් ඔහු අනතුරු අඟවා තිබෙනවා.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.



