ජී 20 හරහා තුන්වන ලෝකයට වැටෙන ඉන්දියාවේ ආලෝකය

බංකොලොත් ශ්‍රී ලාංකික ජාතියට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබා ගැනීමට ඇති ප්‍රධාන බාධාව ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහාය ලබාදෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් එක් පාර්ශවයක් වන ඉන්දියාව සඳුදා පස්වරුවේ සිය සහතිකය ලබාදී ඇති බව එම වාර්තාවේ සඳහා වේ.

එම අනාවරණයත් සමඟ ජනමාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසා ඇත්තේ, “පසුගිය පැය දොළහ තුළ සිදුවෙමින් පවතින ඉතා ධනාත්මක වර්ධනයන් සමඟ, මෙම වසරේ පළමු කාර්තුවේදී මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව විශ්වාසයි” යනුවෙනි.

කෙසේවෙතත් වොෂින්ටනයේ IMF නියෝජිතයකු හෝ ඉන්දීය රජය මේ වන තුරු නිල වශයෙන් මෙම ප්‍රකාශය තහවුරු කර නැත.

කෙසේවෙතත් නිල නොලත් මාර්ගවලින් ලැබෙන වාර්තා සියල්ල මේ වන විට තහවුරු කරමින් සිටින්නේ, IMF වැඩසටහන වෙනුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට පුර්ණ සහයෝගය ලබාදීමේ පණිවිඩය, ඉදිරි දින කිහිපයේ මෙරට සංචාරය කරන ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයිශංකර් සිය සංචාරය අතරතුර ප්‍රසිද්ධියට පත්කරනු ඇති බවයි.

ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් මහතා අද එනම් ජනවාරි 19 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ඇත්තෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ මුහුණදෙමින් සිටින දුෂ්කර තත්වය හමුවේ උපකාර කිරීමට ඉදිරිපත්වන ලද්දේ හදිසියේ නොවේ.

ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුයට සෘජුවම ඇදවැටුණේ පසුගිය වසර අරම්භයේදීය.

එහිදී පළමුවෙන්ම මෙරටට උපකාර පිණිස ඉදිරිපත් වූයේ ඉන්දියාවයි.

ඒ අනුව එතෙක් ඉතිහාසයේ ද්විපාර්ශ්වික හවුල්කරුවකු විසින් වසරක් තුල මෙරටට ලබාදුන් වැඩිම සහන ප්‍රමාණය සටහන් කරමින්, 2022 පළමු මාස 05 ඇතුලතදී පමණක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 04කට ආසන්න ණය පහසුකම් ලබාදුන්නේය.

තමන්ට මුහුණදීමට සිදුව ඇති ආර්ථික අර්බුදයේ සැබෑ ස්වභාවය අවසානයේ ශ්‍රී ලංකා පාලකයන් විසින් අවබෝධ කරගන්නා ලද්දේ 2022 අප්‍රේල් මාසය ආරම්භයේදීය.

ඒ අනුව අප්‍රේල් මාසය මැදදී වොෂිංටනයේදී IMF නියෝජිතයන් හමුවීමට එවකට මුදල් ඇමතිව සිටි අලි සබ්‍රි පියවර ගත්තේය.

එම සාකච්ඡා වටය නොසිතු පරිදි සාර්ථක විය.

එම සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වූයේ, අදාළ සාකච්ඡාවන් සඳහා ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් පෞද්ගලිකවම සහභාගී වීම බව රහසක් නොවේ.

IMF ණය වැඩසටහනකදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සිය පුර්ණ සහයෝගය ලබාදෙන බව එම සාකච්ඡා මේසයේදී ඉන්දීය මුදල් ඇමතිනිය IMF ප්‍රධානි ක්රිස්ටලිනා ජෝර්ජියෙවාට සහතික වූවාය.

IMF විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කඩිනම් ණය වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ එම සහතිකයෙන් අනතුරුවය.

ඒ, අනුව ඉන්දියාව IMF වැඩසටහන වෙනුවෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවට සැකයක් නොවීය.

එහෙත් එම සහයෝගය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවට හානියක් නොවන අයුරින් යම් පමණකට ප්‍රමාද කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.

එම ප්‍රමාදය සළකා බලන විට, එයද ශ්‍රී ලංකාවට වාසිසහගත ආකාරයෙන් සිදුකරන ලද්දක් බව දැකගත හැකිය.

ඉන්දියාවට ප්‍රබල G20 සංවිධානයේ සභාපතිත්වය හිමිවුයේ පසුගිය දෙසැම්බර් 01වැනිදාය.

G20 සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් දෙවැනි වන ලොව පවතින සංවර්ධිත රටවල එකතුවෙන් සැදුම්ලත් සංවිධාන ව්‍යුහයයි.

එවැනි සංවිධානයක නායකත්වයට පත්වීම යනු, ලොව 05 වැනි විශාලතම ආර්ථිකය දක්වා වේගවත් ගමනක් පැමිණ ඇති ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයකි.

එසේම ලෝකයට ඉන්දියාව කෙතරම් දුරකට වැදගත් වන්නේ ද යන්න තහවුරු කරන ලද දර්ශකයක්ද වේ.

දැන් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට IMF ණය වැඩසටහන වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට සුදානම් වන්නේ සිය නව ගෝලීය වගකීම වන G20 සභාපතිත්වයත් සමඟිනි.

එහි අදහස වන්නේ, තවදුරටත් ඉන්දියාව සිය අසල්වැසියාට කරන උපකාරයක් ලෙසින් පමණක් නොව, ගෝලීය වගකිවයුතු සංවිධානයක ප්‍රධානියකු ලෙස, දුෂ්කර මොහොතකදී උණ සංවර්ධිත ජාතියකට උපකාර කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩයක්ද සමගින්, මෙරටට උපකාර කිරීමට සුදානමින් සිටින බවය.

ඒ අනුව තමන් සමග එක පෙළට සිටින අනෙක් G20 රටවලටද ඉන්දියාව ලබාදෙන පණිවිඩය වන්නේ, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය IMF වැඩසටහන වෙනුවෙන් වූ සහාය මේ මොහොතේ ලබාදියයුතු බවයි.

ඒ අනුව සුපුරුදු අසල්වැසියා ලෙස නොව G20 සභාපතිවරයා ලෙස ඉන්දියාව මේ මොහොතේ ඉදිරිපත්වීම ශ්‍රී ලංකාවට කෙතරම් වාසිදායකද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

අනෙක් අතට සමස්ත ගෝලීය අර්බුදකාරී වටපිටාව හමුවේ ඉන්දියාවට G20 කණ්ඩායමේ නායකත්වය හිමිවීමද සුවිශේෂී තත්වයක් වේ.

G20 කණ්ඩායම වත්මන් ගෝලීය අභියෝග හමුවේ, ලොවට සැබෑ බලාපොරොත්තුවක් තැබිය හැකි මධ්‍යස්ථානයක් බවට මේ වන විට පත්ව තිබේ. G20හි වැදගත්කම පවතින්නේ සංවර්ධිත ආර්ථිකයන් සමූහයක් වන G7 කණ්ඩායමට වෙනස්ව මෙමගින් එකට කාණ්ඩගත කර ඇති ජාතීන්වල විවිධත්වය තුළය.

G20 විසින් ගෝලීය දකුණට (ලතින් ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව සහ ඕෂනියාව තුළ කලාප) හඬක් ලබා දෙන අතර,එහි සාමාජික රටවල් එක්ව ගෝලීය ජනගහණයෙන් සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි.

එය අන්තර්ජාතික මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන ගැටළු විසඳීමට ක්‍රියා කරයි.

එමනිසාම G7හි සිටින ලෝක බලවතුන්ට, බොහෝවිට තමන් විසින් මගහැර යන ගෝලීය දකුණ පිළිබදව, තමන් නැවත සාමාජිකත්වය දරන G20 කණ්ඩායම තුළදී අනිවාර්යයෙන්ම මැදිහත්වීමට සිදුවේ.

ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85ක් පමණ සහ ගෝලීය වෙළඳාමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන කණ්ඩායමක් තුළ G7 සාමාජිකයන්ට එලෙස කරහැර යෑමේ අවස්ථාව ඉතා අඩු බවද පෙන්වාදිය යුතුය.

දැන් ඉන්දියාව විසින් තමන්ට ලැබුණු G20 කණ්ඩායමේ සභාපතිත්වයත් සමඟින් රට පුරා විවිධාකාරයේ අන්තර්ජාතික සමුළු 200ක් සැලසුම් කර ඇත්තේ ලෝක බලවතුන් හට වගකීමෙන් ගැලවීගත නොහැකි මෙම G20 වේදිකාව මතදී, ඉදිරි වසරක කාලය තුල ගෝලීය අභියෝග රැසකට, විශේෂයෙන් ශ්‍රී ලංකාවද ඇතුළුව ගෝලීය දකුණ වෙනුවෙන් විසඳුම් ලබාදීම සඳහාය.

ලොව සැමගේ යහපැවැත්ම සඳහා ප්‍රායෝගික ගෝලීය විසඳුම් සෙවීමෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට උත්සාහ කරන ඉන්දියාවේ G20 සභාපතිධූර කාලය ඉන්දීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් වනු ඇත.

ඉන්දියාව සිය G20 නායකත්ව කාලසීමාව වෙනුවෙන් ලබාදී ඇති තේමාව වන්නේ ‘වසුධෛව කුටුම්බකම්’ හෙවත් ‘ලෝකය එක පවුලකි’ යන සැබෑ ආත්මය ප්‍රකාශනයි.

ඇත්තෙන්ම ඉන්දියාවේ මෙම ගෝලීය උපායමාර්ගය සහ බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සිය G20 සභාපතිධුර කාලය තුළ පරීක්ෂණයට ලක් කෙරෙනු ඇති අතර, ඉන්දියාවද මේ වන විටත් ප්‍රදර්ශනය කරමින් සිටින කැපවීම අනුව සලකා බලන විට, එම ආත්ම ප්‍රකාශනය සමස්ත ලෝකය කෙරෙහිම විහිදෙන්නක් බව ප්‍රදර්ශනය කරවීම, ඉදිරි වසරක කාලය ඇතුලත දැකබලා ගත හැකි බවට විශ්වාසය තැබිය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?