ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කොරකීන ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ මෘත ශරීරය මත මල් කළඹක් තබා මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයාද ඒ අසලම ගෙල වැළලා ගැනීමේ සිද්ධියක් පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ පදිංචි ඉලූඹ විතානගේ නිල්මිණි (38) වියැති දෙදරු මවක්. සියදිවි නසාගෙන ඇත්තේ එම ලිපිනයේම පදිංචි ඉලන්දාරිදේව නිහාල් රවීන්ද්‍ර (39) නමැති එක්දරු පියෙක්.
මොවුන් දෙදෙනාම මීට පෙර විවාහ වී එම විවාහයෙන් වෙන්වී ඇති පුද්ගලයන් බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඝාතනයට ලක් වූ කාන්තාව දැනට මාස දෙකකට පෙර විදේශ රටක සේවය කර ලංකාවට පැමිණි අයෙක්. ඇය විසින් නිතර නිතර ජංගම දුරකතනය මගින් කතා කිරීම පිළිබඳව අනියම් පුරුෂයා විසින් රණ්ඩු සරුවල් ඇති කරගෙන ඇති බවද දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.
සිද්ධිය සිදුවූ ස්ථානයේ ඊයේ (21 වැනිදා) ස්ථාන පරීක්ෂණයට ගිය ඇල්පිටිය මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පී.සී. ආර්. පරීක්ෂණයක් කොට අනතුරුව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.




