spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ බරපතල කොවිඩ් රෝගීන් තවදුරටත් ඉහළ යයි

චීනයේ බීජිං නුවර සහ සෙසු ප්‍රදේශවල බරපතල ලෙස රෝගාතුර වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් එය චීනයේ සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් එන්.එච්.කේ.පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

චීනයේ බොහෝ කලාපවල කොරෝනා වයිරස් ආසාදිතයින්  වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත්තේ එරට රජය ඉකුත් දෙසැම්බර් 7 වනදා දැඩි වසංගත සීමාවන් ලිහිල් කිරීමෙන් පසුවයි.කෙසේ වෙතත්, රෝහල් පිරී ඉතිරී ගියද චීන රජය කොවිඩ් ආශි‍්‍රතව රටේ සිදුවන මරණ දිගින් දිගටම අවතක්සේරු කරමින් සිටිනවා.

කොවිඩ් රෝගයට සම්බන්ධ මරණවල සත්‍ය සංඛ්‍යා වසන් කිරීම සඳහා, රජය දෙසැම්බර් 20 දා  තීරණය කළේ  නියුමෝනියාව සහ ශ්වසන අපහසුතා හේතුවෙන් සිදුවන මරණ පමණක්  කොවිඩ් මරණ ලෙස ගණන් ගැනීමටයි.

චීනයේ අභ්‍යන්තර පළාත්වල ද එවැනි රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර, එවැනි බොහෝ ප්‍රදේශවල වසංගතයකට මුහුණ දීමට වෛද්‍ය පහසුකම් සහ පිරිස් අඩුපාඩුකම් ද පවතින බව එන්.එච්.කේ.පුවත් සේවය වාර්තා කළා.

චීනයේ අන්හුයි පළාතේ රෝහලක හදිසි ප්‍රතිකාර අංශයක සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයම කොවිඩ් ආසාදිත බවද  වාර්තා වනවා.

විකල්පයක් නොමැති බැවින්, ඔවුන් ප්‍රතිකාර ගන්නා අතරතුර රාජකාරියේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

එරට වාර්තා පවසන්නේ දෛනිකව කොවිඩ්  රෝගීන් දහසක් පමණ වාර්තා වන බවයි.

ඉහළ එන්නත් අනුපාතයක් ඇතත්, ඔමික්‍රොන් ප්‍රභේදවලට එරෙහිව සිනෝෆාම් සහ කොරොනොවැක් එන්නත් වල අඩු කාර්යක්ෂමතාව හේතුවෙන් ජනගහනයෙන් සියයට 80 ක් කොවිඩ්වලට ගොදුරු වනු ඇති බවට පුරෝකථන පවතිනවා.

කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා රෝහල්වලට සහය දැක්වීමටත්, සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ නැවත ක්‍රියාත්මක කිරීමටත් සංචරණ සීමා පැනවීමටත් චීන රජය තවමත් පියවර ගෙන නැහැ.

රට පුරා වේගයෙන් වර්ධනය වන කෝවිඩ් තත්ත්වය මධ්‍යයේ, චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි පීඩනයකට ලක්ව සිටිනවා.


චීනයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය මෑතදී ලිහිල් කිරීමෙන් පසු රට තුළ ඉහළ යන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පින් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, රට තුළ පිරිහෙමින් පවතින කෝවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් සිය පළමු මහජන ප්‍රතිචාරය වශයෙන් ෂී පසුගියදා ඉල්ලා සිටියේ රට නව අභියෝගවලට මුහුණ දී ඇති බැවින් කොවිඩ් වැළැක්වීම සහ පාලනය සඳහා ඉලක්කගත මහජන සෞඛ්‍ය ව්‍යාපාරයක් දියත් කරන ලෙසයි.

සෞඛ්‍ය දැනුම සහ කුසලතා ප්‍රවර්ධනය කිරීම,යහපත් පුද්ගලික සනීපාරක්ෂක පුරුදු වර්ධනය කිරීම සහ ශිෂ්ට සම්පන්න සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රගුණ කිරීම සම්බන්ධයෙන් මහජනතාවට මග පෙන්වීම සඳහා අමතර උත්සාහයන් ගත යුතු බවට  ෂී ජිංපිං එහිදී  ආයාචනා කළා.

චීන සමාජ මාධ්‍ය පෙන්වා දෙන්නේ කොවිඩ් මරණවල පෙර නොවූ විරූ වේගයට මුහුණ දීමට මෘත ශරීරාගාර සහ අවමංගල ශාලාවලට  නොහැකි බැවින් මළ සිරුරු ගොඩගැසීමේ තත්ත්වයක් පවතින බවයි.

මේ අතර, රජයේ කොවිඩ් පාලන කටයුතු සම්බන්ධයෙන් විද්වතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් රජයට දැඩි විවේචන එල්ලවෙමින් තිබෙනවා.


බොහෝ චීන  විශේෂඥයින් ද  චෝදනා කරන්නේ රජය සිය වගකීම පැහැර හැර ඇති බවටයි.


නියුමෝනියාව සහ ශ්වසන අපහසුතා පමණක් කොවිඩ් ආශ්‍රිත මරණ ලෙස ගණන් ගන්නා බවට නියම කරමින් රජයේ හදිසි ස්ථාවරය වෙනස් කිරීම පිටුපස ඇති තාර්කිකත්වය ද මෙම විශේෂඥයින් විසින් ප්‍රශ්න කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?