දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ආරම්භ වනවා.
ඒ, අනුව හෙට (27) පෙරවරු 10.00ට ගම්පොළ දොරගල, පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් මෙම ජාතික වැඩසටහන ආරම්භ වීමට නියමිතයි.
ආපදා තත්ත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික වූ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, එම ස්ථානවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමටත්, එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, සියලු පාර්ශ්වයන්හි දායකත්වය ලබාගනිමින් සිදු කිරීමටත් රජය අපේක්ෂා කරනවා.













