ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් උදාර නිර්මාල් ගුණරත්න සහ නලින් දුෂ්ශන්ත යන සැකකරුවන් දෙදෙනා අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකළ බවත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.
මෙම සැකකරුවන් සම්බන්ධ විමර්ශන අවසන් වී නොමැති හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සඳහා යොදාගත් ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට ආධාර අනුබල දීම මෙම සැකකරුවන් විසින් සිදුකර ඇති බව සඳහන් කළ පොලිසිය ඒ අනුව ඔවුන් සැකපිට අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළා.