ලෝකයේ ජනප්රිය ශ්රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම්, භාවිතා කරමින්, කොතළ හිඹුටු තොගයක් (Salacia Reticulata) නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ එරට වැසියෙක්, අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 46 හැවිරිදි වියේ පසුවන, මෙරට තුළ සංචාරයේ නිරත වූ චීන ජාතිකයෙක්.
ඔහු අද (31) දින අලුයම 01.40 ට චීනයේ කුංමිං නුවර බලා පිටත්ව ගිය චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ , කැබළි ලෙස සකස් කර , ශ්රී ලංකා තේ සන්නාමය සහිත ඇසුරුම් තුළ, මෙම කොතළ හිඹුටු කිලෝ ග්රෑම් 21 ක ප්රමාණය අසුරා සගවා ගෙන තිබුණා.
ශ්රී ලංකාවේ ක්රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධ්විධාන යටතේ , කොතළ හිඹුටු ශ්රී ලංකාවෙන් පිටතට රැගෙන යා නොහැකි ආරක්ෂිත ශාක විශේෂයක්.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.













