වස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (13) මරණ දඬුවම නියම කළා.
කුඩා වස්කඩුව, ලිටිල්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර, සුගත් කුමාර නොහොත් රාළහාමි සහ සමිත සිසිර කුමාර නොහොත් බෙටා නැමැති පුද්ගලයන් තිදෙනා හට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවා.
කුඩා වස්කඩුව, ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී චමින්ද කුමාර නැමැත්තා 2008 වසරේ ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක රාත්‍රි වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසක දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනාට චෝදනා ගොනුකර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.
පසුගිය නඩු වාරයේ දී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකරනු ලැබුවා.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා විසින් මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසාදමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැදී සිටී සියලු දෙනා අසුන්වලින් නැගිටවීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළා.
විත්තිය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන්ද , පොලිසිය වෙනුවෙන් සැරයන් මනෝජ් නිශාන් ද අධිකරණය හමුවේ පෙනී සිටියා.













