පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ නගර සභාව වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම මේ මස 19 වනදා දක්වා වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ප්‍රදේශය බාර තේරීම්භාර නිලධාරියා වෙත සීමිත අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එදින පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් වෙත යළි නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය නියෝග කලා.
සයිදමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ ඒ.එල්.එම්.සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ. ආර්.එම් අසීම් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුනා.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා අධිකරණයට දන්වා සිටියේ මැතිවරණ කොමිසම විසින් ඉකුත් දෙසැම්බර් මස 29 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ සයින්දමරුදු නගර සභාව ද කල්මුනේ නගර සභාව යටතට පත්කර ඇති බවයි.
එය පළාත් පාලන පනතේ විධි විධානයන්ට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් සයින්දමරුදු බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 17 ක් වාසය කරන ඡන්ද දායකයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙන්වා දී තිබෙනවා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සීමා නිර්ණය කටයුතු අවසන් වන තුරු අදාළ පළාත් පාලන ආයතනය සඳහා ඡන්ද විමසීම් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.