කටුනායක ගුවන් තොටුපොළ සිට මැදපෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් , ෆිට්ස් එයාර් සහ අනෙකුත් ගුවන් සේවා , මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,එහි ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල පවසනවා.
මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ෆිට්ස් එයාර් ගුවන් සේවය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සබදතා පවත්වන විදේශීය ගුවන් සේවාවන් වන එමිරේට්ස් , ඉටිහාඩ්, ෆ්ලයි ඩුබායි, සෞදියා, ඕමාන් එයාර් සහ කටාර් ගුවන් සේවා ප්‍රධානීන් සමඟ අද (28) ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී ඉහත තීරණයට එළඹි බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම මැදපෙරදිග බලා යෑමට සූදානම් වී සිටින ගුවන් මගීන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර, ඒ පිළිබද තම ගුවන් සේවා ආයතනවලින් හෝ කටුනායක ගුවන් තොටුපොළ අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් ද දැනුම් දෙනවා.
මේ අතර ඈත පෙරදිග රටවල සිට එනම් චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල සිට මැදපෙරදිග බලා පිටත්ව ඇති ගුවන් යානාවලට මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල ගුවන් ගමන් කලාප වසා තැබීම හේතුවෙන් සිය ගමනාන්ත කරා ළගා වීමට නොහැකිවීම නිසා, ඒ වෙනුවට කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ සූදානම් කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.













