ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) හමුවී සාකච්ඡාවක නිරත වුණා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා (Yohei Sasakawa) මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළා.
එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම නගා සිටුවීමට දරන උත්සාහය සහ ශ්‍රී ලංකාව තුළ සමාජ සේවය වෙනුවෙන් වන දිගු කාලීන කැපවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී යොහෙයි සසකාවා (Yohei Sasakawa) වෙත සිය කෘතඥතාව පළකර තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.





