රුපියල් මිලියන 1170ක (බිලියන1.17ක්/ කෝටි 117) අධි ඇස්තමේන්තුවක් මත 2011 වසරේදී උතුරුමැද පළාත් සභාව විසින් ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය සිදුකොට ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පෙරේදා (18) අනාවරණය වුණා.
පසුව 2013 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු කණ්ඩායමක් යොදවා සිදුකළ පරීක්ෂණයක දී මේ බව අනාවරණය වීම සහ එකී මාර්ග ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට අදාළ මුදල් ගෙවීම නවතා ඇති බවත් මෙහිදී නිලධාරීහු පැවසුවා.
උතුරු මැද පළාත් සභාවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු උතුරු මැද පළාත් සභාවේ නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වුණා.
රුපියල් මිලියන 3592කට ඇස්තමේන්තු කර තිබූ මෙම මාර්ග 53 හි එකම මාර්ගය ඇස්තමේන්තු අගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරමින් ව්‍යාපෘති 741ක් සඳහා කොන්ත්‍රාත්කරුවන් සීමිත මිල ගණන් කැඳවා තෝරා ඇති බවත් හෙළි ව තිබෙනවා.
එසේ මිලියන 5ට අඩු වන ලෙස සීමිත මිල ගණන් යටතේ එකම මාර්ගය ව්‍යාපෘති ගණනාවකට බෙදා ඇත්තේ එවිට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාගේ අනුමැතිය මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව නිසා බවත් කාරක සභාවේදී අනාවරණය වුණා.
මෙම ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්කරුවන් හත් දෙනෙකු අතර පමණක් බෙදී ගොස් ඇති බවත්, ඉන් එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934ක් වටිනා ව්‍යාපෘති 629ක් (පාරවල් 42ක්) ලබා දී ඇති බවත් මෙහිදී විගණන නිලධාරීහු පෙන්වා දුන්නා.
එම කොන්ත්‍රාත්කරුගේ මූල්‍ය ශක්තිය හා පළපුරුද්ද අනුව රු. මිලියන 300-600 කොන්ත්‍රාත් පමණක් ප්‍රදානය කළ හැකිව තිබූ බව ද නිලධාරීහු පැවසුවා.
මෙම කොන්ත්‍රාත් ආයතනය එවකට උතුරුමැද පළාතේ බලය ගෙන සිටි දේශපාලනඥයෙකුට සම්බන්ධ බවට හෙළි වන බවත් මෙහිදී සාකච්ඡා වුණා.
මේ අනුව රුපියල් මිලියන 11ක් පමණ වැය වන මාර්ග 1Kmක් සඳහා රුපියල් මිලියන 45 දක්වා මුදල් ගෙවා ඇත්තේ අතිශය දූෂිත ලෙස බවත් මෙහිදී අනාවරණය වුණා.
මෙපමණ මුදලක් වියදම් කොට ඉදිකර ඇති මාර්ග නිසි ප්‍රමිතියෙන් තොරව කෙටිකලකින් අබලන් වී ඇති බවත් මෙහිදී අවධාරණය කෙරුණා.
මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන නිලධාරියා වන එවකට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස සේවය කළ පුද්ගලයා මේ වන විට මියගොස් ඇති බවත් ඔහු ඊට පෙර මහවැලි අධිකාරියේ සේවය කොට නිධන් හෑරීමේ චෝදනාව යටතේ සේවයෙන් පහකළ අයෙකු බවත් මෙහිදි හෙළි වුණා.
පසුව මෙම සිදුවීමට එරෙහිව කටයුතු කළ නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වු බවත් මෙම කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා 2015 වසරේදී එවකට සිටි පළාත් ප්‍රධාන ඇමතිවරයා විසින් පසුව පත්වූ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා විශ්‍රාම යවා ඇති බවත් නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් පැවසුවා.
එසේම මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් මාර්ග සංවර්ධනය සඳහා පළාත් සභාවකට වෙන්වීමම ගැටලුවක් බව මුදල් කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්නා.
එවකට සිටි ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාවරයාගේ බලපෑමෙන් එය සිදු වූ බවටත් මෙහිදී සාකච්ඡා කෙරුණා.
උතුරුමැද පළාතේ දහඩිය මහන්සියෙන් වැඩ කරන ගොවිජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම අතිශය ඛේදනීය සිදුවීමක් බවත් මෙරට මාර්ග සංවර්ධන ඉතිහාසයේ දූෂිතම අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හදුනාගත හැකි බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවා.
මේ අනුව මීට සම්බන්ධ නිලධාරීහු හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කළා.
එසේම මේ සම්බන්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන අධිකාරිය පිළිබඳවත් වාර්තාවක් ලබා දෙන ලෙසත් මෙහිදී කාරක සභාව නිර්දේශ ලබාදීම සිදුවුණා.
2017 වසරේදී පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් රු. 542,019,300ක් ( මිලියන 542ක්/ කෝටි 54.2ක්) මුදලකට ඉදිකිරීම් සමාගමක් සමග ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.
මෙහිදී රු.මිලියන 100ක් කොන්ත්‍රාත්කරුට අත්තිකාරමක් ලබාදී තිබූ නමුත් ආරම්භක අවස්ථාවේදීම ඉදිකිරීම් නවතා ව්‍යාපෘතිය අතහැර දමා ඇති බවත් අනාවරණය කෙරුණා.
ළමුන් පන්සියයකටත් අඩු ප්‍රමාණයක් ඉගෙනුම ලබන විදුහලකට කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම සාධාරණ නොවන බවත් එවකට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ තනි කැමැත්ත මත මෙය සිදුවී ඇති බවත් මෙහිදී සාකච්ඡා වුණා.
එසේම දේශපාලන අධිකාරිය සමග කොන්ත්‍රාත්කරුට පැවති ලැදියාව අනාවරණය වන බවත් මෙහිදී සාකච්ඡා වුණා.
මේ වන විට වල්බිහිවී ඇති මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකර මෙම මුදල් නැවත අයකර ගැනීමටත් යම් අකටයුත්තක් සිදු වී ඇත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිර්දේශ කළ කාරක සභාව සති තුනක් තුළ මේ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, චාමර සම්පත් දසනායක, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී.කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න, සුනිල් රත්නසිරි සහ දිනිඳු සමන් හෙන්නායක යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වුණා.





