පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇති බව ඇය පැවසුවාය.
රාවල්පින්ඩි – ඉස්ලාමාබාද් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඇය එම සිද්ධියට මුහුණ දී තිබුණාය.
රිහාම් ඛාන් මේ වනවිට සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.
එහි දැක්වෙන්නේ රිහාම් ඥාතියකුගේ මංගල උත්සවයට සහභාගී ආපසු එමින් සිටින විට වෙඩික්කරුවන් දෙදෙනෙක් සිය මෝටර් රථයට වෙඩිතබා එය නැවැත්වූ බවය.
“මගේ රියදුරාත් මගේ ලේකම්වරයාත් මා සමඟ සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ. මේක තමයි ඉම්රාන්ගේ පාකිස්තානය. අවනීතිය රජ කරනවා, මැරයෝ කිසිම බයක් සැකයක් නැතිව ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළෙනවා,” යැයි ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
ඇය තවදුරටත් පවසා ඇත්තේ තම පැමිණිල්ල සටහන් කර ගැනීමට අදාළ බලධාරීන් වුවමනාවෙන් ප්‍රමාද කළ බවය.



