AFC Banner
Empty Ad
Empty Ad

ඉන්න හිතෙන රටෙන් යන්න යන මිනිස්සු

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය, රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇත. කඩදාසි සහ මුද්‍රණ තීන්ත හිඟය හේතුවෙන් පාසල් විභාග අවලංගු වීමේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්ධන පිරවුම්හල්වල රැඳී සිටියදී මිය යන තත්ත්වය දක්වා දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් පවතී.මේ වන විට මේ කොදෙව්ව ජීවත් වීමට සුදුසු නුසුදු මායිම අතර දෝලනය වෙමින් ඇත

මෙම වාතාවරනය තුල රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් විශේෂයෙන්ම තරුණයින් ශ්‍රී ලංකාව තුළ පවතින ජීවන මට්ටම උසස් කරගැනීමට අවශ්‍ය අවස්ථා පිළිබඳව සෑහීමකට පත් නොවී ඇති බව නොරහසකි. ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමක් දක්වා ඉහළ යාම සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය පිළිබඳ ජනතාවගේ කෝපාවිෂ්ඨ පැමිණිලිවලින් සමාජ මාධ්‍ය පිරී තිබේ.
පසුගිය මාසය පුරාවට බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දක්නට ලැබුණු දිගු පෝලිම් කියා සිටියේ මහජන සිත්සතන්හි තම උපන් රට කෙරෙහි නිර්මාණය වී ඇති කලකිරීමයි.කලකිරීමටත් එහා ගිය ශෝකයත් සමගින් ඔවුන් තම අවසන් තීරනය ගෙන ඇති බව නොරහසකි.

මේ අතර එය සනාථ කරමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ මේ සතියේ වාර්තා කළේ, තමිල්නාඩුවේ රාමේෂ්වරම් වෙරළට ඔබ්බෙන් වූ දූපතක අතරමංව සිටි ළමුන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන ඇති බවත්, ඔවුන් තම මව්බිමෙන් පලා ගොස් ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බවත්ය.

එම පුවත්පත් වාර්තාවට අනුව, සරණාගතයින් පවසා සිටියේ තමන්ට ශ්‍රී ලංකාවේ ආහාර සපයා ගැනීමට අපහසු වී ඇති බවත් තමුන් බෝට්ටුකරුවෙකුට රු. 50,000ක මුදලක් දී ඉන්දියාවට යාත්‍රා කළ බවත්ය. එමෙන්ම තමුන් වැනි බොහෝ පිරිසක් ඉන්දියාවට පවා සංක්‍රමණය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන් පවසා ඇත.මීට පෙර අප අසා තිබුනේ ශ්‍රී ලංකාවට ඉන්දියානුවන් ආහාර සොයා පලා එන බව පමනෙකි.කෙසේ නමුත් කාලායාගේ ඇවෑමෙන් අපට මේ බිම හැරයාමට සිදුවන සළකුනු එක දෙක මතුවෙමින් ඇත.

රැකියාව හෝ අධ්‍යාපනය සඳහා විදේශ සංක්‍රමණය ශ්‍රී ලංකාවේ තරුණයින් සඳහා ජනප්‍රිය විකල්පයක් වුවත් ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ 2019 වසරේ පමණක් වයස අවුරුදු 25-29 අතර වයස් කාණ්ඩවල පුහුණු, අර්ධ පුහුණු සහ නුපුහුණු රැකියා සඳහා වැඩිම විදේශගතවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මෙම වයස් කාණ්ඩය වෘත්තීය, මධ්‍යම සහ ලිපිකරු මට්ටමේ රැකියා සඳහා දෙවන ඉහළම පිටවීම් සංඛ්‍යාව ද වාර්තා කර ඇත.

මේ වනවිට ශ්‍රී ලාංකික තරුණ ජනගහනය අතර, ස්ථිර පදිංචිය (පී.ආර්) ලබා ගැනීම සඳහා විශේෂයෙන් කැනඩාව සහ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ආගමන හා විගමන දෙපාර්තමේනතුව හඳුනාගෙන ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (නීති) සහ තොරතුරු නිලධාරී මිලින්ද කුමාරසිංහ මහතා පැවසුවේ, මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා නව විදේශ ගමන් බලපත්‍ර 161,394ක් නිකුත් කර ඇති බවයි. 2021 වසර පුරාවට නිකුත් කර ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර 382,527ක් පමණි.

උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා සංක්‍රමණය වීමට අදහස් කරන ශ්‍රී ලාංකික තරුණයින් බොහෝ දෙනෙකු සමඟ අපි කතා කළෙමු. පවතින තත්ත්වය තුළ ලංකාවෙන් වෙනත් රටක් කරා යාමට ඇති ඉඩකඩ පවා ක්‍රමානුකුලව ඇහිරෙමින් පවතින බව මේ සියලු දෙනාගේ අදහසයි. බැංකු ඩොලර් නිකුත් නොකරනු ඇතැයි ඔවුහු බිය වෙති. ඉහළ යන උද්ධමන අනුපාතය අනුව විදේශයන්හි උසස් අධ්‍යාපනය සඳහා මුදල් ගෙවන්නේ කෙසේදැයි ඔවුහු බිය වෙති.ඔවුන් බිය වෙමින් පවතිනා කාරණා එකින් එක මේ වනවිට සත්‍ය බවට පත් වෙමින් ද ඇත.

“අපි ඉන්නේ ලොකු අවිනිශ්චිතභාවයක් එක්ක. මේ ආර්ථික අර්බුදය ඇතුළේ මොකක් කරන්නද කියල හිතාගන්න බැහැ. සංක්‍රමණය වීමට පුළුවන් වුණත් අපේ ඉතිරි කිරීම් අපට ඒ රටට අරන් යද්දී එම මුදල් වල වටිනාකම ඉතා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා,” ශිෂ්‍යන්ගේ කතාව එවැන්නකි.
බොහෝ දෙනා තමන්ගේ උපාධිය , ශාස්ත්‍රපති උපාධිය මෙන්ම ඉන් ඉහල අධ්‍යාපනික අවස්ථා සදහා රට අත හැරම යන තත්වයක් දැනට පවති.
එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු වූවන් ද රැකියාව අත් හැර විදෙස්ගත වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

මේ වන විට විශ්වවිද්‍යාල වලින් පළමු උපාධිය සම්පූර්ණ කර පිටවූ බහුතරය තමන්ගේ ජීවිතයේ ඉදිරිගමන වෙනුවෙන් යුරෝපයට මෙන්ම ඔස්ට්‍රේලියාව සංක්‍රමනය වෙන ආකාරය අපට නිරීක්ශනය වී ඇත.ඔවුන්ගෙන් විමසූ කල ඔවුන් පවසා සිටින්නේ තමන්ට තම අනාගතය පිළිබඳ බියක් මේ රට තුල සිටීමෙන් ඇතිවන බවය.

කෙසේ නමුත් සටහන අවසානයට පෙර සඳහන් කලයුතු තවත් දෙයක් ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ බුද්ධිගලනය ඉතා ඉහල තැනක ඇත.මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනාගතයේ රට තුල දරුණු බුද්ධි හිඟයක්ද ඇතිවීම වැලකිය නොහැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?