ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු බස් රථ 75ක් ඩිපෝවලට බෙදාදීම අද සිදු කෙරුණා.
ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
ග්‍රාමීය ප්‍රදේශවල මාර්ගවල තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ රුපියල් කෝටියක් පමණ වටිනා බස් රථ 75ක් මෙසේ ඩිපෝවලට පිරිනැමූ අතර උතුරු නැගෙනහිර ඇතුළුව සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන ආකාරයෙනුයි ඩිපෝවලට මෙම බස් රථ බෙදා දෙනු ලැබුවේ. .
මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා කියාසිටියේ මෙම වසර තුළ නව බස් රථ 500ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.
බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාවතේ පැවති මෙම වසර බෙදා දීමේ වැඩසටහනේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“අද දිනයේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් දිනයක්. ග්‍රාමීය ප්‍රදේශවල මංමාවත් වල තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ නවීන බස් රථ 75ක් අපගේ ප්‍රවාහන පද්ධතියට එක් වනවා. ඉන්දියානු රජයේ සහයෝගයෙන්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රු. ලක්ෂ 100ක පමණ වටිනා මෙම බස් රථ ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. මෙරට 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති යටතේ මෙරටට ලැබෙන තවත් බස් රථ තොගයක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීමට කටයුතු කරනවා. උතුරු නැගෙනහිර පලාත් ඇතුළුව සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ඩිපෝ වෙත මෙම බස් රථ වෙන්කර තිබෙනවා. 2023 වසර තුළ නව බස්රථ 500ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.”













