අනූෂ පැල්පිට ලබන 20 දක්වා තවදුරටත් රිමාන්ඩ්

රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේ, 2015 වසරේ මාර්තු මස ලැබුණු පැමිණිල්ලකට අනුව සිය කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කරන ලද බවයි.

ඉන් අනතුරුව 2026 වසර දක්වා වරින්වර සැකකරුගේ ප්‍රකාශ, දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන ගෙන්වා ගනිමින් විමර්ශන සිදුකළ බව එම නිලධාරියා සඳහන් කළේ.

ඒ, අනුව 2012 වසරේ මාර්තු 31 වනදා සිට 2014 වසරේ මාර්තු 31 වන දා අතර කාල සීමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

ඔහු සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකරු සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 11ක් ලැබුණු ආකාරය ඔහු විසින් පැහැදිලි කරන නොමැති බව සඳහන් කළ එම නිලධාරියා එම මුදල සිය බිරිඳගේ සහෝදරිය හා සහෝදරයෙකු ලබා දුන් බව ප්‍රකාශ කර ඇති බව පැවසුවා.

ඉන් රුපියල් මිලියන තුනක් සැකකරුගේ සහෝදරියක් විසින් ලබාදෙන ලද බව සඳහන් කර ඇති අතර, එම සහෝදරියගෙන් විමසූ විට ඉඩමක් විකුණා අදාළ මුදල සැකකරුට ලබා දුන් බව පැවසුව ද විකුණු ඉඩම පිහිටා තිබෙන ස්ථානය ප්‍රකාශ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව ද අදාළ නිලධාරියා පෙන්වා දුන්නා.

ඊට අමතරව තවත් රුපියල් මිලියන අටක මුදලක් සහෝදරයෙකු විසින් ලබාදෙන ලද බව සැකකරු ප්‍රකාශ කළත් එම මුදල ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ද ඔහු අසමත් වී තිබෙන බව නිලධාරියා පැවසුවා.

මෙම සැකකරු අදාළ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට අසමත් වී ඇති බවත් සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගේ, ඇයගේ සහෝදරියකගේ හා සහෝදරයකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරියා දැනුම් දුන්නා.

සැකකරු ඇප මත මුදා හැරීමෙන් එම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාවක් පවතින බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, සිය සේවා දායකයා විමර්ශනවලට අවශ්‍ය සියලු සහය ලබා දී තිබෙන බවයි.

විමර්ශනවලට අවශ්‍ය ලේඛන මීට වසර 11කට පමණ පෙර සැකකරු විසින් අල්ලස් කොමිසමට ලබා දෙනු ලැබ ඇති බවත් සැකකරු කිසිදු අවස්ථාවක සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, සැකකරුගේ ආදායම් උපයා ගැනීම්වලට අදාළ ලේඛනයක් ද අද දින නීතිඥවරයා විවෘත අධිකරණයට ඉදිරිපත් කළේ.

ඒ අනුව, මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් කාරණා ඉදිරිපත් වී නොමැති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, මෙම සැකකරු විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා දීම මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම ප්‍රකාශ කර ඇති බවයි.

සැකකරුගේ එම ක්‍රියා කලාපය දෙස සලකා බැලීමේදී ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බැවින් මෙය ඇප ලබා දිය හැකි වරදක් වුවත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

ඒ අනුව, සැකකරු පෙබරවාරි 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද අල්ලස් කොමිසමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?