ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළා.
එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ලබන 24 වනදා ගොනු කරන මෙන් දෙපාර්ශ්වයටම නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර වසන්ත මුදලිගේ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (17) නියෝග කළා.
මෙම පැමිණිල්ල අද මුලින්ම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඉදිරියේ කැඳවනු ලැබූවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම සමඟ පෙනී සිටි පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළා.
” ස්වාමීනි මෙම සැකකරුවන් මුලින්ම නොවැම්බර් මස 17 වන දා 22 වනදා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී වසන්ත රත්නායක ඇතුළු 04 දෙනෙකු පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. එම දිවුරුම් ප්‍රකාශ පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා එම දිවුරුම් ප්‍රකාශ ඔබතුමිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙස. එම නිසා මෙම පැමිණිල්ල ඔබතුමිය විසින් විභාග කිරීම නුසුදුසු බවයි මගේ හැඟීම.” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.
එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැමිණිල්ලේ ඉල්ලීමට දැඩි විරෝධය පළකර සිටියා.
“ස්වාමීනි මෙම ඉල්ලීම අනුමත කරන්න බැහැ. නීතිපතිවරයාට නඩුවක් මාරු කිරීමට අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 47 සහ 48 වගන්තිය යටතේ අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර එය කළ හැකියි. එසේ නොකොට මේ ආකාරයෙන් නඩුවක් මාරු කිරීමට උත්සාහ කිරීම යහපත් පරිචයක් නෙවෙයි. මේක අධිකරණය බියගැන්වීමට දරන උත්සාහයක්. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බලපෑමක්.” යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තර්ක කළා.
එම අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත දන්වා සිටියේ අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එම අවස්ථාවේදී අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස්,
“මෙම සැකකරුවන් නොවැම්බර් මස 17 දා ඔබතුමිය නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය ප්‍රකාශයක් කරමින් “ඔයාලා අරගල කළේ අපි හැමෝම වෙනුවෙන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කරලා තිබෙන නිසා ඇප ලබාදීමට හැකියාවක් නැහැ. පනතෙන් අපේ අත් බැඳලා තිබෙනවා. සැකකාර ස්වාමීන් වහන්සේට සිංහල බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒකට ඉඩ දෙන්න. සැකකාර සිරිධම්ම හිමියන්ට පස් පංගුවක් සහ සස්ටජන් ලබාදීම සඳහා ඔබ තුමිය අධිකරණ නිලධාරීයෙකු වෙත රුපියල් 10,000ක මුදලක් ලබා දී තිබෙනවා.”යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දක්වා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ තමා මෙම ක්‍රියාව සිදු කළේ දෙවන සැකකාර සිරිධම්ම හිමි භික්ෂූන් වහන්සේ නමක් ලෙස සලකා මානුෂික චේතනාවකින් යුතුව බවයි.
“තමා එම ප්‍රකාශය කළේ ත්‍රස්ත මර්ධන කොට්ටාශයේ නිලධාරීන්ගේ ඉදිරිපිට මා සඳහන් නොකළ ඇතැම් දේවලුත් එම කරුණු අතර තිබෙනවා. එසේ තිබියදී තමන්ට ප්‍රශ්නයක් ඇති කිරීම උත්සාහ කිරීම අනුමත කරන්න බැහැ” යනුවෙන් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දිවුරුම් ප්‍රකාශය කීපයක් තමන් සන්තකයේ තබාගෙන අධිකරණය බියගැන්වීමට දැන් උත්සාහය අනුමත කළ නොහැකි බව පැවැසුවා.
මෙම දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ දැයි සාලිය පීරිස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කින් ප්‍රශ්න කලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ තමා විත්තියේ නීතිඥවරු මතු කරන ප්‍රශ්න වලට පිළිතුරු දීමට බැඳී නොසිටින බවයි.
ඉන් පසුව එම ප්‍රශ්නයම මහේස්ත්‍රාත්වරිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වෙත යොමු කළා.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ එම දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අද දින හෝ හෙට පැමිණිලි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මෙන්ම විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගුණරත්න හා වන්නිනායක යන යන අය අතර උණුසුම් වචන හුවමාරුවක් අධිකරණය හමුවේ සිදුවුණා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කරන බවයි.
ඒ, අනුව අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කැඳවනු ලැබුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් වූ ඇප පිළිබඳ නියෝගය ලබන 31 දා ප්‍රකාශයට පත් කරන බවයි.
.



