හිටපු යුද හමුදා සෙබළාට ජීවිතය එපා වෙයි

කුරුණෑගල මූලස්ථාන පොලීසිය ආසන්නයේ පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද පස්වරුවේ සිරුරට ගිනි තබා ගැනීමෙන් තුවාල ලැබූ හිටපු යුද හමුදා සෙබලෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගලේවෙල දේවහුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු භූමිතෙල් හලාගෙන සිරුරට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ඒ අසල සිටි පිරිසක් ගිනි ඇවිලෙමින් තිබූ ඇඳුම් ගලවා ගින්න නිවා ඔහුගේ ජීවිතය බේරාගෙන තිබූ බව ද පොලිසිය සඳහන් කළා.

මෙම හමුදා සෙබලා විනය විරෝධී ක්‍රියා හේතුවෙන් යුද හමුදාවෙන් ඉවත් කර සිටින අයෙකු වන අතර මහව අධිකරණයෙහි ඔහුට එරෙහිව ඇති නඩුවකට පෙනී සිටීම සඳහා මුදල් නොමැති බව පවසමින් මෙලෙස දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.