මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම මහජනතාවගේ අවධානය යොමු වී ඇති විශේෂ නඩු කටයුත්තක් බැවින් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩවල රස පරීක්ෂක වාර්තා කඩිනම් කරන ලෙස සිහි කැඳවීමක් යොමු කරන ලෙස මීගමුව ප්රධාන මහෙස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළා .
පොදු දේපල වලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කල මීගමුව කාන්තා බන්ධනාගාරයයේ රැඳවියන් 25 දෙනා මහෙස්ත්රාත්වරියගේ නිල මැදිරියට ආවරණ සහිත ඉදිරිපත් කළ අතර ඔවුන් සියලු දෙනා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්රාත්වරිය නියෝග කරනු ලැබුවා.
එම කාන්තා සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ නඩු පවරන බවත් නඩුව අවසන් වන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.
සිද්ධිය අවස්ථාවේ දී මිය ගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත් සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවා ඇති නඩු භාණ්ඩවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද දැනුම් දුන්නා.
අනතුරුව අගතියට පත් පාර්ශ්වට වෙනුවෙන් පෙනී සිටි සිරකැරු අයිත්වාසිකම් සුරැකීමේ සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා කැරුණු දැක්වූවා,
ස්වාමීනි, මම පෙර අවස්ථාවෙත් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා අපි දැක්කා දොර කවුලුවෙන් වෙඩි තියනවා. දැන් 296 වගන්තිය යටතේ පවා නඩු දාලා තියෙනවා. ඒ සම්බන්ධව මොවුන් කොහොම කටයුතු කරනවා ද දන්නේ නැහැ
ඒ සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මියගිය නිලධාරීන්ට වගේම මියගිය රැඳවියන්ටත් සාධාරණයක් ඉටු විය යුතුයි.
අනතුරුව ඊට පිලිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ, ඒ සම්බන්ධව ගිනි අවි 300කට අධික ප්රමාණයක් භාරයට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධව වාර්තා ලැබුණු පසු අදාල ක්රියාමාර්ග ගන්නා බවයි.
මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීන් සඳහන් කළ අතර සැකකරුවන් 81 ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත්කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග මහෙස්ත්රාත්වරිය නිකුත් කළ අතර සැකකරුවන් 106 දෙනාම සැප්තැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22 කු ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමට නියමිතයි.













