spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේදුම් කාරක වෘෂණ කෝෂවලට හා ගර්භාෂයට දැඩි ලෙස අවධානම්

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන විවිධ වර්ගයේ සේදුම්කාරක, විෂබීජ නාශක, ජල විකර්ශක රෙදි ආදියෙහි ශරීරයේ හෝමෝනවලට දැඩි ලෙස හානිකර වියහැකි රසායනික ද්‍රව්‍ය තිබෙන බවට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

මීට අමතරව, ඇතැම් වැහි කබා සහ ඒ ආදියෙහි ද මිනිස් හෝමෝනවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන රසායනික වර්ග අන්තර්ගත බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමෙන් වකුගඩු පිළිකා, වෘෂණ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, ගර්භනීභාවය සම්බන්ධ අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවන බවත්, මෙම රසායනික ද්‍රව්‍ය රුධිරය හා මව්කිරි හරහා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩිබවත් පර්යේෂකයෝ අවධාරණය කර සිටී.

පොලිෆ්ලුරොඇල්කයිල්, මෙතිල්පැරබින්, පොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, අයිපෙන්ටයිල්පැරබින් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය මෙම පර්යේෂණවලදී හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.

පර්යේෂකයෝ පවසන්නේ, විශේෂයෙන් පොලිෆ්ලුරොඇල්කයිල් ද්‍රව්‍ය ජලයේ දියවන බැවින් ඒවා ජලය හරහා මිනිසාගේ මෙන්ම ජලජ ජීවීන්ගේ සිරුරට ඇතුළුවන බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ ඉන්ටර්නැෂනල් පොලුයුටන්ට්ස් එලිමිනේෂන් නෙට්වර්ක් (IPEN) ආයතනය සමඟ එක්ව කරන ලද පර්යේෂණයේ දී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබී ද විශේෂත්වයක්.

ජල විකර්ශක රෙදිවලින් සකස් කරන ලද ඒප්‍රන, වැහි කබා ආදී ඇදුම් සාම්පල හයක් චෙක් ජනරජයේ චාල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිසර අධ්‍යයන අංශයට යොමු කිරීමෙන් පසු අනාවරණයවී ඇත්තේ පෆ්ලුරොඩකනොයික් ඇසිඩ් නැමැති රසායනිකය ඒප්‍රනයක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.7 ක් සහ වැහි කබාවක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.6 ක් යන මට්ටම්වලින් අන්තර්ගත බවයි.

විදෙස් රටවලින් මෙරටට රැගෙන එන රෙදිපිළිවල මෙම රසායනික වැඩිවශයෙන් අන්තර්ගතවන අතර, මෙම රෙදිපිළි රට තුළ වේගයෙන් සංසරණය වන බවද වාර්තා වනවා.

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන අත් සේදුම්කාරක, දත් බෙහෙත්, බොඩි වොෂ්, මුඛ සේදුම්කාරක, විෂබීජ පිසදමන ටිෂූ කඩදාසි ආදී සාම්පල 30 ක් දකුණු කොරියාවේ රසායනාගාරයක පරීක්ෂණාගාරයකට යොමුකර පරීක්ෂා කිරීමේදී අනාවරණයවී ඇත්තේ, මෙතිල්පැරබින්, එතිල්පැරබින්, ප්‍රොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, පෙන්ටයිල්පැරබින්, ෆීනයිල්පැරබින්, බෙන්සයිල්පැරබින්, ට්‍රයික්ලෝසාන්, ට්‍රයික්ලොකාබන් යන රසායනික සංයෝග ඒවායහි අන්තර්ගත බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ව්‍යාපෘති සම්පාදන සහ කළමනාකරණ නිලධාරිනී චලනි රූබසිංහ පවසන්නේ, පැරබීන සහිත ආහාර, ඖෂධ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය මගින් සිරුරේ හෝමෝනවලට බලපෑම් ඇතිවන අතර, පිළිකා, කළලයේ ගැටලු තත්ත්වයන්, ප්‍රජනන ගැටලු ආදිය ද ඇතිවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
2
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?