ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා පිහිටි වෙළඳසැල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබා ගැනීමක් අද (17) සිදුකරනු ලැබුවා.
ඒ, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්.
ලිස්ටීරියා රෝගියෙකු බවට සැකකරන පුද්ගලයෙකු හමුවිමත් සමඟ රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින්
පවත්වනු ලබන පරීක්ෂණයකට යොමු කිරීම සඳහා, මෙම වෙළඳසැල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබාගත බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.
දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන, පානිය ජලය වෙළඳසැල්වලින් ලබාදීම සම්බන්ධයෙන් තම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධික්ෂණය කරන බව ද මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සඳහන් කර සිටියා.
මේ අතර මෙම ලිස්ටීරියා රෝගියා හමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් තොරතුරු අනාවරණය වීමත් සමඟ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද කරුණා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ අඩුවක් ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු ආහාර පාන ලබාදීමට පියවර ගෙන ඇති බවයි නල්ලතන්නියේ සංචාරක හෝටල් හිමියන් සඳහන් කළේ.







