spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යළිත් සචිත්‍ර සේනානායක රිමාන්ඩ් (වීඩියෝ)

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර සචිත්‍ර සේනානායක ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

විමර්ශන සිදු කරණ ක්‍රීඩා දූෂණ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

“මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටින පුද්ගලයෙකු ක්‍රීඩා විමර්ශන අංශයට ඉදිරිපත් කරන බවට සැකකරු පසුගිය වතාවේ අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ අනුව “මුදිත ප්‍රියංග” නමැති පුද්ගලයකු ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙක් සමග ක්‍රීඩා විමර්ශන අංශයට පැමිණියා. ඒ පුද්ගලයා සැකකරු විසින් ඉදිරිපත් කරන බවට දැනුම් දුන් පුද්ගලයා නෙවෙයි. ව්‍යාජ පුද්ගලයෙක් තමයි සැකකරු විසින් විමර්ශන අංශ වලට ඉදිරිපත් කරලා තිබෙන්නේ. මෙම සැකකරුගේ කටහඬ පරික්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත පසුගිය 13දා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළා. එහෙත් එම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ උපකරණ වල තිබූ ගැටලු සහගත තත්ත්වයක් නිසා එම කටහඬ පරීක්ෂාව සිදු කිරීමට නොහැකි වුණා.”

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා

“මෙම සැකකරු විමර්ශනවලට සහාය ලබා දී නෑ. ඔහුගෙන් ප්‍රකාශයක් පවා සටහන් කර ගත්තේ අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි. දුරකථන ලබා දෙන ලෙස ඉල්ලීම් කලත් ඒවා ලබා දුන්නේ නෑ. විමර්ශනවලට අවශ්‍ය එක් දුරකථනයක් මුරුසි දූපත්වල දී ඔරු පදින අවස්ථාවේ ජලයට වැටුණු බව සැකකරු සඳහන් කළා. මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේ එහි සිටි අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, රජීව් විජේසිංහ යන අයගෙන් ප්‍රශ්න කළා. ඔවුන් කියා සිටියා එවැනි දෙයක් සිදු වූ බවට සැකකරු තමන්ට නොකියූ බව. මේ සැකකරු විමර්ශන වලට අවශ්‍ය පුද්ගලයෙකු වන “මුදිත” නමැත්තෙකුගේ දුරකථන අංකයක් ලබා දුන්නා. පරීක්ෂා කිරීමේදී පෙනී ගියා එම දුරකථන අංකය කෑගල්ල ප්‍රදේශය උසස් පෙළ හදාරන මොහොමඩ් අලි නැමැති ශිෂ්‍යයෙක්ගේ බව. මේ සැකකරු පළපුරුදු අපරාධකරුවකුට වඩා තෙම්පරාදු වෙච්ච චරිතයක් බව මෙයින් පෙනී යනවා. විමර්ශන නිලධාරීන් මුලාකොට නොමඟ යැවීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම තරග පාවාදීම සම්බන්ධයෙන් විදේශයක සිට තරිඳු රත්නායක සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් දෙදෙනාට දුරකතනයෙන් කතා කළ ෂහීඩි සහ ස්ටැබී යන පුද්ගලයින් සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කරනවා.”

යනුවෙන් ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම තරග පාවාදීමේ ජාලයට විශාල පුද්ගලයින් පිරිසක් සම්බන්ධ වී සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි කියාසිටියේ.

මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය ව ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම අවස්ථාවේදී ඔහු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බලපෑමක් සිදු විය හැකි හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා

” ස්වාමීනි මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ආරම්භ වුණේ 2021 වසරේ දී. එතැන් පටන් මේ දක්වා විමර්ශන සිදුකෙරුණා. ඒත් මේ දක්වා මෙම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නෑ. තම සේවාදායකයා මුද්‍රිත නැමැති පුද්ගලයෙකු ක්‍රීඩා විමර්ශන අංශයට ඉදිරිපත් කළේ ඔවුන් කළ ඉල්ලීමකට අනුවයි. ඉතිං මගේ සේවාදායකයා ඔහු දන්නා “මුද්‍රිතව” ක්‍රීඩා විමර්ශන අංශයට ඉදිරිපත් කළා. ස්වාමීනි.. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටහඬ පරීක්ෂණයක් සිදු කරන දිනට දින 5 කට පෙර ඊට අදාළ හඬ පට ඉදිරිපත් කළ යුතුයි. ඒත් ක්‍රීඩා විමර්ශන අංශය ඊට අදාළ හඬපට ඉදිරිපත් කිරීමක් කළේ නෑ. ඒ නිසයි පසුගිය 13දා මාගේ සේවාදායකයාගේ කටහඬ පරීක්ෂණය කරන්න බැරි වුනේ.”

යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා ඇපමත මුදා හළ පමණින් ඔහුට විමර්ශන වලට මැදිහත් වීමට හෝ බලපෑම් සිදු කිරීමට හැකියාවක් නොමැති හෙයින් ඔහු ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ එම විමර්ශනයට අදාළව සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බව පැමිණිල්ල ප්‍රකාශ කරන හෙයින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට මෙන්ම යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට බාධා සිදුවුණු බවයි.

ඒ අනුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

එමෙන්ම සැකකාර සචිත්‍ර සේනානායක ගෙන් ලබන 19 වනදා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවසර දෙන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර බලධාරීන්ට නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?