මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයන් 32 මියයාම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ (31) දිනයේත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එලෙස නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් සොයාගෙන ඇති බවත් අධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.
කෙසේ වෙතත් එකී සාක්ෂිය සම්බන්ධයෙන් තොරතුරු අධිකරණයෙන් පිටතට ගියහොත් විමර්ශනවලට සහ එකී සාක්ෂි වලට බලපෑම් ඇති විය හැකි බැවින් ඒවා මාධ්‍ය මඟින් හෙළි නොකරන ලෙස ද ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සහ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පස්වන සැකකරු මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීම මහේස්ත්‍රාත්වරිය නිල මැදිරියේ දී සිදු වුණා.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කළ පස්වන සැකකරු වන පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමැත්තා ඊයේ (31) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.













