වයස මාස 05ක බිළිඳා ලයින් කාමරයක තනිකර විදෙස් ගතවන බව පවසා පළාගිය යුවළක් පිළිබඳ පුවතක් පසුගිය දා මාධ්‍ය වාර්තා කළා.
මෙලෙස පළාගිය යුවළ ඊයේ (24) යළිත් දරුවා දමාගිය ලිඳුල වත්තට පැමිණ ඇති බව ගලහා පොලිසිය පවසනවා.
හිතවත් කාන්තාවකට අයත් වතු නිවාසයක දරුවා නිදිකර මෙම යුවළ නිවසින් පිටව ගොස් පැය කිහිපයකට පසු තමන් විදේශ ගතවන බැවින් දරුවා රැක බලා ගැනීමට කටයුතු කර ලෙස දුරකථන ඇමතුමක් දී එම වත්තේ පදිංචි අයෙකුට පවසා තිබෙනවා.
අදාළ ඇමතුමෙන් පසු කලබලයට පත් වතුයායේ පදිංචි පිරිස වතු පාලනාධිකාරිය ද දැනුවත් කර බිළිඳා දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
මව්කිරි ලබාදීමේ පහසුකම් එම රෝහලේ නොමැති බැවින් බිළිඳා පේරාදෙණිය රෝහලට යොමුකිරීමට එම රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර තිබුණා.
බිළිඳාගේ මව්පිය යුවළ සැබෑ ලෙසම විදේශ ගතවූයේ ද යන්න සොයා විමර්ශන සිදුකරන අතරතුර බිළිඳාගේ මව සහ පියා මෙලෙස වතුයායට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ අසල්වාසීන් ඔවුන් දෙදෙනාව පොලිසියට භාරදීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මව් කිරි බොන බිළිඳා තනිකර දමා විදේශ ගතවීමට සිත් නොදීම හේතුවෙන් තමන් යළි පැමිණි බව ඔවුන් පොලීසියට පවසා තිබෙනවා.
පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බිළිඳාට මව්කිරි ලබාදීමට මව එම රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



