මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නැති මාර්ග, එම අධිකාරියට පවරා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සැලකිල්ලට ගනිමින්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන යටතේ නඩත්තු කරනු ලබන මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට කටයුතු කිරීම සහ එම මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා කාර්ය මණ්ඩල ලබා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වය යටතේ කමිටුවක් පත් කිරීම පිණිස 2026-07-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, වෙනත් ආයතන විසින් බලධාරිත්වය දරන මාර්ග ජාතික මහා මාර්ග වශයෙන් උශ්‍රේණිගත කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වල මූලික සුදුසුකම්, තාක්ෂණික විභවයන් සහ අදාළ නිර්ණායක පිළිබඳව පරීක්ෂා කර බලා මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග පවරා ගැනීමේ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ මත පදනම්ව එවැනි මාර්ග ජාතික මහාමාර්ග ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.