spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍ය පුරවැසි භාවය වසන්කරලා ඩයනා පාස්පෝර්ට් එකක් අරන් – අධිකරණයේ දී ප්‍රකාශයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ඉකුත් දා අභියාචනාධිකරනය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමක් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වුණා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තා.

එම අවස්ථාවේ දී වගඋත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි න ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මූලික විරෝධතා තුනක් අධිකරණය හමුවේ මතුකර සිටියා.

පෙත්සම්කරුට මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා නීතිමය හැකියාවක් නොමැති බවටත් අභියාචනාධිකරණ තීන්දුව නිවැරදි බවටත් මෙම අභියාචනය ගොනුකර තිබෙන ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනි බවත් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සිය විරෝධතාවලින් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මෙම විරෝධතා නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ කළා.

පෙත්සම්කාර ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක් වන රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වීම සහ අසුන් ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු භාවය අහිමි ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක ලෙස තේරී පත්වීම සහ අසුන් ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියි. ඩයනා ගමගේ අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කොට මෙරට විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. 2004-10-10 සිට ඩයනා ගමගේ මහත්මිය වරින් වර සංචාරක හා වාස වීසා ලබාගෙන මෙරටට පැමිණ තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ සදහන්ව තිබෙනවා. ඩයනා ගමගේ මහත්මිය කිසිඳු අවස්ථාවක මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගත් බව අධිකරණය හමුවේ සඳහන් කර නෑ.මෙරට පුරවැසි පනත ප්‍රකාරව යම් ශ්‍රී ලාංකිකයෙකු විදේශ රටක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වනවා.”

එම තත්ත්වය යටතේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි තැනැත්තියක් බව පැහැදිලි වන බවත් නීතිඥවරයා සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ හෆීල් ෆාරිස් මෙම සිද්ධියට අදාළව ඩයනා ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය තුළින් තමා බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළ බව පිළිගෙන ඇති අතර, තමා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන නොමැති බවත් පිළිගෙන තිබෙන බව සඳහන් කළා.

2015 වසරේ තමා බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අත්හල බව ඩයනා ගමගේ එම ප්‍රකාශයේ සඳහන් කළ ද ඒ බව තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඇය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් පසුව ඔහු මාරුකර හැරීමට පියවර ගණන බව සඳහන් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට (13) දින තෙක් කල් තැබුණා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඔෂල හේරත් විසින්ම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සමේ තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

එම අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් එය බල රහිත කොට ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
24
+1
3
+1
4
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?