බංග්ලාදේශය තුළ නව සටන්කාමී සංවිධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තාවකට අනුව, “ඉත්තෙහාදුල් උම්මා” (Ittihadul Ummah) නමින් හඳුන්වන මෙම සංවිධානය විදේශීය සටන්කාමී සංවිධාන සමඟ සබඳතා පවත්වන්නේද යන්න පිළිබඳව බුද්ධි අංශ විමර්ශනය කරමින් සිටිනවා.
බංග්ලාදේශයේ ටෙජ්ගාඕන් ප්රදේශයේ පිහිටි විද්යාලීය මුස්ලිම් දේවස්ථානයකදී පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තාවේ සඳහන්.
බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්ය සලාහුදීන් අහමඩ් ප්රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පිළිබඳ වෝහාරික විශ්ලේෂණ සහ ප්රශ්න කිරීම් මගින් නව සංවිධානයක් පිහිටුවීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි.
සියලු ආකාරයේ සටන්කාමී ක්රියාකාරකම්වලට එරෙහිව දැඩි ප්රතිපත්තියක් අනුගමනය කරන බවත්, එවැනි ක්රියා සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ස්වදේශ කටයුතු අමාත්යවරයා අවධාරණය කර තිබෙනවා.
