1818 ක්ෂණික ඇමතුම් සේවාවේ ක්‍රියාකාරිත්වය විමසුමට ලක්කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකයේ ක්‍රියාකාරිත්වය සහ මෙහෙයුම් කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදා හැරීම් හෝ ඒ ආශ්‍රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම අංකය හඳුන්වා දී ඇත. රටේ ඕනෑම පුද්ගලයකුට මෙහිදී තොරතුරු ලබා දිය හැකි අතරම, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සහ ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වේ. ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරෙන මෙම සේවාව “රටම එකට” මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර, ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව මහජනතාවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දීමට හැකියාව පවතිනවා.

එමෙන්ම “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා එළැඹෙන නොවැම්බර් 05වෙනිදාට වසරක් සපිරීමට නියමිත අතර ඒ පිළිබඳව මෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රටේ අනාගත පරපුර ආරක්ෂා කර ගනිමින්, සුරක්ෂිත සහ මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක මෙම ජාතික මෙහෙයුම වඩාත් ඵලදායීව ඉදිරියට ගෙන යාමට අදාළ කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය මඩෝවිට වජිර බුද්ධි හිමිපාණන් වහන්සේද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුරි පින්තු, හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුත්තනන්, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. නවාස්, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහූ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.