අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආරක්ෂණවාදී වෙළෙඳ ප්රතිපත්ති හමුවේ අමෙරිකාව මත පවතින ආර්ථික යැපීම අඩු කිරීමේ අරමුණින්, ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමටත් යුරෝපා සංගමය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් කැනඩාව කඩිනම් පියවර ගනිමින් සිටිනවා.
කැනේඩියානු විදේශ කටයුතු අමාත්ය අනීතා ආනන්ද් මේ බව ප්රකාශ කර ඇත්තේ නවදිල්ලියේදීයි.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ ආර්ථික උපායමාර්ගයේ ප්රධාන අංගයක් වන්නේ ඉන්දියාව, යුරෝපා සංගමය, චීනය ඇතුළු රටවල් සමඟ වෙළෙඳ සබඳතා විවිධාංගීකරණය කිරීමයි. එසේ වුවද, වෙළෙඳාම, ආරක්ෂක සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ සහයෝගීතාව පවත්වාගෙන යාමට ද කැනඩාව අපේක්ෂා කරනවා.
ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යහපත් ප්රගතියක් අත්කරගෙන ඇති බව ආනන්ද් සඳහන් කර තිබේ. ඉන්දීය වෙළෙඳ සාකච්ඡාකරුවන් පසුගිය සතියේ කැනඩාවේ සංචාරය කර ඇති අතර, කැනේඩියානු වෙළෙඳ අමාත්ය මැනින්දර් සිදු ද ව්යාපාරික දූත පිරිසක් සමඟ මේ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරත වෙයි.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සහ ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි ද මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කර තිබේ. මෝදි ලබන දෙසැම්බර් මාසයේදී කැනඩාවේ සංචාරය කිරීමට නියමිත බව ද වාර්තා වනවා.
මෙම ගිවිසුම මගින් 2030 වසර වනවිට දෙරට අතර වාර්ෂික භාණ්ඩ හා සේවා වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 70ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එය 2025 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 30.4ක වෙළෙඳ වටිනාකම මෙන් දෙගුණයකටත් වැඩි අගයකි.
2025 වසරේදී කැනඩාව සහ ඉන්දියාව අතර භාණ්ඩ වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 10.9ක් වූ අතර, ඊට පෙර වසරට සාපේක්ෂව ඉන්දියාවට කැනඩාවෙන් සිදුකළ අපනයන සියයට 26.5කින් පහත වැටී තිබේ. එහෙත් ඉන්දියාවෙන් කැනඩාවට සිදුකළ ආනයන සියයට 18.9කින් ඉහළ ගොස් තිබෙනවා.
දෙරට අතර වර්ධනය වන ආර්ථික සහයෝගීතාවට තවත් උදාහරණයක් ලෙස, කැනේඩියානු සමාගමක් වන කැමෙක්කෝ සහ ඉන්දියාව අතර අත්සන් කළ අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් පමණ වටිනා යුරේනියම් සැපයුම් ගිවිසුම ද පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම කැනඩාවේ ෆෙයාර්ෆැක්ස් ෆිනෑන්ෂල් හෝල්ඩිංග්ස් සමාගම, ඉන්දියාවේ අයි.ඩී.බී.අයි. බැංකුවේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමට එකඟ වී තිබෙනවා.
ඉන්දීය රුපියල් බිලියන 528.78ක් හෙවත් අමෙරිකානු ඩොලර් බිලියන 5.56ක් පමණ වටිනා මෙම ගනුදෙනුව, ඉන්දියාවේ විශාලතම දේශසීමා හරහා සිදුකෙරෙන බැංකු ගනුදෙනුව වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ අතර, ඉන්දුනීසියාව සමඟ පසුගිය වසරේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹි කැනඩාව, 2026 වසරේදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය හෙවත් ආසියාන් සංවිධානය සමඟ ද ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරනවා.
මේ වනවිට රටවල් 51ක් සහ පාරිභෝගිකයන් බිලියන 1.5ක් ආවරණය වන වෙළෙඳ ගිවිසුම් 15කට කැනඩාව එළැඹ ඇති බව විදේශ කටයුතු අමාත්යවරිය සඳහන් කළා.
මෙම උත්සාහයේ අරමුණ එක් රටක් මත පමණක් ආර්ථික වශයෙන් රඳා නොපවතිමින්, කැනඩාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ස්වෛරීභාවය තහවුරු කිරීම බව ද ඇය අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, 2023 වසරේදී කැනඩාවේදී සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මතුවූ රාජ්යතාන්ත්රික අර්බුදයෙන් පසුව, කැනඩාව සහ ඉන්දියාව සිය සබඳතා යළි ගොඩනඟා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.
සබඳතා යථා තත්ත්වයට පත් කිරීම ක්රමයෙන් සිදුවන ක්රියාවලියක් බව පැවසූ ආනන්ද්, ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්යය එහිදී ප්රධාන අවධානයට ලක්වන කරුණු බව සඳහන් කළා.
