පාකිස්ථානයේ දරුවන් මිලියන 1.5ක් පමණ වසරක් තුළ අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට මුහුණ දී ඇති බව UNICEF නිකුත් කළ නව වාර්තාවක් පෙන්වා දෙනවා.
වයස අවුරුදු 12ත් 17ත් අතර වින්දිතයන් සම්බන්ධ සිදුවීම්වලදී, අපයෝජකයන්ගෙන් සියයට 85ක් පමණ වින්දිත දරුවන් දැන සිටි පුද්ගලයන් බව ද වාර්තාවේ සඳහන්.
Online games හරහා ඇතිකරගන්නා මිත්‍රත්වයන්, තෑගි හෝ මුදල් ලබාදෙන බවට පොරොන්දු සහ ආදර සබඳතා වැනි ක්‍රම භාවිත කරමින් අපයෝජකයන් දරුවන්ගේ විශ්වාසය දිනාගන්නා බව UNICEF විශේෂඥයන් පෙන්වා දෙනවා.
ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍යවලින් ලබාගන්නා පෞද්ගලික තොරතුරු භාවිත කර මාස ගණනාවක් පුරා දරුවන්ගේ විශ්වාසය ගොඩනඟන බවයි වාර්තා වන්නේ.
වඩාත් බරපතළ කරුණ වන්නේ අපයෝජනයට ලක්වූ දරුවන්ගෙන් සියයට 71ක් ඒ පිළිබඳ කිසිවෙකුටත් දැනුම් නොදීමයි.
සමීක්ෂණයට එක්වූ කිසිදු දරුවෙකු පොලිසිය, උපකාරක දුරකථන සේවාවක් හෝ සමාජ සේවකයෙකු වැනි නිල මාර්ගයකට පැමිණිලි කර නොමැති බව ද UNICEF වාර්තාව පෙන්වා දෙනවා.
සමාජ අපකීර්තිය, ලැජ්ජාව සහ පවුලෙන් හෝ සමාජයෙන් එල්ල විය හැකි ප්‍රතිචාර පිළිබඳ බිය මේ සඳහා ප්‍රධාන හේතු වී තිබෙනවා.
ළමා අයිතිවාසිකම් සංවිධානයක් වන Pahchaan පවසන්නේ වාර්තා වූ අපයෝජනවලින් සියයට 44ක් සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය තුළ සිදුව ඇති අතර Snapchat සහ WhatsApp එවැනි සිදුවීම් වාර්තා වූ ප්‍රධාන ඩිජිටල් වේදිකා අතර පවතින බවයි.
විශේෂයෙන් ගැහැනු දරුවන් ලිංගික අන්තර්ගත භාවිත කරමින් සිදුකරන තර්ජන සහ කප්පම් ඉල්ලීම්වලට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ අධ්‍යාපනය සහ නිදහසේ ගමන් කිරීම පවා සීමා විය හැකි බව වාර්තාව පෙන්වා දෙනවා.
පාකිස්ථානයේ වයස අවුරුදු 12ත් 17ත් අතර දරුවන්ගෙන් සියයට 74ක් පමණ අන්තර්ජාලය භාවිත කරන බව UNICEF ඇස්තමේන්තු කරන අතර, දරුවන්ගේ ඩිජිටල් ප්‍රවේශය ඉහළ යාමත් සමඟ online ආරක්ෂාව පිළිබඳ අවධානය ද වැඩිවෙමින් තිබෙනවා.
මේ අතර පන්ජාබ් පළාත් පාලනය වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කර තිබුණද, එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ දරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විරෝධය පළකර තිබෙනවා.
පාකිස්ථානය තුළ දරුවන්ට එරෙහි තාක්ෂණය ආශ්‍රිත අපරාධ සම්බන්ධ නීති පැවතියද, ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා සහ නීතිමය හිඩැස් තවමත් ප්‍රධාන ගැටලුවක් බව ළමා අයිතිවාසිකම් සහ නීති විශේෂඥයන් පෙන්වා දෙනවා.













