නවලෝක රෝහල වෙන්දේසි කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

නවලෝක රෝහල් සංකීර්ණය හා දේපොළ වෙන්දේසි කිරීමට සීමා සහිත හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන තිබෙන තීරණය මේ මස 13 වනදා තෙක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා

 නවලෝක මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර සමාගම නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් අධිකරණයේ හමුවේ කියා සිටින්නේ නවලෝක රෝහල සහ ඊට අදාළ දේපල තමන් යටතේ පවතින බවයි.

තමන් විසින් වග උත්තරකාර හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් මිලියන 200ක  අයිරාවක්ද රුපියල් මිලියන 300 ක් හා  මිලියන 255 බැගින් වූ කාලීන ණයක් ද  ලබාගෙන තිබූ බව පවසන පෙත්සම්කාර සමාගම එම ණය පහසුකම් ලබා ගැනීමේදී තමන් යටතේ පවතින දේපල උකසට තැබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහෙත් එම ණය පහසුකම් වලට අදාළව හිඟ වශයෙන් ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 60 කට අධික ණය සහ පොලී මුදලක් ගෙවීම පැහැර හැර බව සඳහන් කරමින් තම දේපළ 2023 වසරේ මැයි මස 26 වනදා වග උත්තරකාර බැංකුව විසින්  වෙන්දේසි කිරීම සඳහා දැන්වීම් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එම තීරණයට එරෙහිව තමන් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පැවරූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අදාල වෙන්දේසිය අත් හිටුවමින් වාණිජ මහාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළ බව සඳහන් කරන පෙත්සම්කරු පසුව වාණිජ මහාධිකරණය විසින් එම අතුරු තහනම් නියෝගය ඉවත් කළ බවත් කියා සිටියා.

ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තම දේපළ වෙන්දේසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ සමාගම විසින් මෙම  ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා 

මෙහිදී පෙත්සන්කාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
15
+1
2
+1
5
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !