බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු නීති විරෝධී මූල්ය ක්රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ (21) අත්සන් තබා තිබෙනවා.
නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගලගේ ප්රධානත්වයෙන් මුදල් අමාත්යාංශයේදී පැවති මෙම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්රනාන්දු සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න විසින් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.
ඒකාබද්ධ යාන්ත්රණයක් ඔස්සේ බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීම සහ එම තොරතුරු මත පදනම්ව සමාන්තර විමර්ශන සිදු කිරීම මෙම ගිවිසුමේ ප්රධාන අරමුණයි.
මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදය සඳහා මූල්යකරණය සහ විනාශකාරී ආයුධ ව්යාප්තිය සඳහා මූල්යකරණයට එරෙහිව ශ්රී ලංකාව තුළ සිදු කෙරෙන තුන්වන අන්යෝන්ය ඇගයීමට සමගාමීව මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත මඟින් 2026 අගෝස්තු 04 වැනිදා සිට දේශීය ආදායම් පනතේ 189 වැනි වගන්තිය යටතේ ගැනෙන බදු පැහැර හැරීම් සම්බන්ධ වැරදි සහ සුරාබදු ආඥා පනත යටතේ ගැනෙන වැරදි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නීති විරෝධී ක්රියාකාරකම් ලෙස සලකනු ලබනවා.
මෙම නව නීතිමය පසුබිම යටතේ අදාළ වැරදි සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රජයේ සම්පත් ප්රශස්ත ලෙස උපයෝගී කර ගැනීම සහ සාමූහිකව ක්රියා කිරීම සඳහා අවශ්ය යාන්ත්රණයක් මෙම ගිවිසුම මඟින් ගොඩනැඟීමට අපේක්ෂා කෙරෙනවා.
බදු පැහැර හැරීම් සම්බන්ධ විගණන කටයුතු පුළුල් කිරීම, අනීතික මූල්ය ප්රවාහ අවම කිරීම සහ රාජ්ය ආදායම් රැස් කිරීම විධිමත් කිරීම තුළින් රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂිතයි.










