දැදුරු ඔය ගංවතුර මට්ටමට ළඟා වෙයි – සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක්

ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව වී තිබෙනවා.

ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝන අඩි 16,500ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ජලාශයට ලැබෙන ජල ධාරිතාව මත මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.