බංග්ලාදේශයේ සරම්ප උග්‍ර අතට – සෙසු රටවලටත් අනතුරු ඇඟවීමක්

ලොව දරුණුතම සරම්ප වසංගතය පාලනය කිරීම සඳහා බංග්ලාදේශය දැඩි සටනක නිරතව සිටින අතර, එරට අත්දැකීම සෙසු රටවලට ද බරපතළ අනතුරු ඇඟවීමක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසනවා.

ප්‍රමාණවත් එන්නත්කරණයක් නොමැති වීම, දුර්වල දත්ත පද්ධති සහ ජනතාව වෙත සෞඛ්‍ය සේවා ළඟා කිරීමේ අඩුපාඩු හේතුවෙන් වසංගතය පාලනය කිරීම තවදුරටත් අසීරු වී ඇති බව වාර්තා වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මාර්තු මැද භාගයේ ආරම්භ වූ මෙම වසංගතය හේතුවෙන් ඔක්තෝබර් 9 වැනිදා වන විට බංග්ලාදේශයෙන් සැකසහිත සරම්ප රෝගීන් දෙලක්ෂ දෙදහසක් වාර්තා වී තිබෙනවා.

ඉන් රෝගීන් විසිදෙදහසක් පමණ රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වසරේ ලොව වෙනත් කිසිදු රටකින් වාර්තා වී නොමැති තරම් සැකසහිත සරම්ප රෝගීන් සංඛ්‍යාවක් බංග්ලාදේශයෙන් වාර්තා වී ඇති බව ද එම සංවිධානය සඳහන් කරනවා.

වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1,147 දෙනෙකු මියගොස් ඇති අතර, වාර්තා වූ මරණවලින් සියයට 94ක්ම වයස අවුරුදු පහට අඩු දරුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

සරම්ප වැනි ඉතා වේගයෙන් පැතිරෙන රෝගයක් පාලනය කිරීම සඳහා ජනගහනයෙන් අවම වශයෙන් සියයට 95කට එන්නත් ලබාදී තිබීම අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

බංග්ලාදේශය මෑත වසරවලදී එම ඉලක්කයට ආසන්න වී තිබුණ ද, 2025 වසරේදී එරට එන්නත්කරණ ආවරණය පහත වැටී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේඛන සමාලෝචනය කරමින් සහ විද්‍යාඥයන්, සෞඛ්‍ය සේවකයන් හා නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සිදුකළ සාකච්ඡාවලදී අනාවරණය කර ඇත්තේ, හදිසි ප්‍රතිචාර දැක්වීමේදී දරුවන් මිලියන ගණනක් පිළිබඳ දත්ත ඇතුළත් නොවීම, ප්‍රමාණවත් පෙර සූදානමක් නොතිබීම සහ දෙමාපියන් වෙත නිසි ලෙස ළඟා වීමට නොහැකි වීම වැනි ගැටලු ද බලපා ඇති බවයි.

නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ගෝලීය මහජන සෞඛ්‍ය පාසලේ මහාචාර්යවරයකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශකයකු වන මාර්ක් ජිට් පවසන්නේ, බංග්ලාදේශයේ තත්ත්වය සෑම රටකටම වැදගත් අනතුරු ඇඟවීමක් බවයි.

වසංගතයක් ඇතිවීමෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීමට වඩා, කල්තියා එන්නත්කරණය මගින් එය වළක්වා ගැනීම පහසු, අඩු වියදම් සහ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

එන්නත්කරණය මගින් වසංගතය වැළැක්වීමට නොහැකි වූ විට, පසුව ක්‍රියාත්මක කරන පාලන වැඩපිළිවෙළකින් අවසානයේ වසංගතය පාලනය කළ හැකි වුවද, ඒ වන විට බොහෝ දෙනෙකුට රෝගය වැළඳී ඇති අතර ඇතැම් පුද්ගලයන්ට ජීවිත අහිමි වනු ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කර තිබෙනවා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන්ගේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ විශේෂ සහකාර සියාඋද්දීන් හයිදර් සැප්තැම්බර් මාසයේදී රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ, වසංගතය අවසන් කිරීම සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

කෙසේ වෙතත්, සරම්ප වසංගතය පාලනය කිරීමේදී බංග්ලාදේශය මුහුණ දෙන අභියෝගය, එන්නත්කරණ ආවරණය පහත වැටීමේ අවදානම සහ දුර්වල සෞඛ්‍ය පද්ධති හමුවේ සෙසු රටවල් ද අවධානය යොමු කළ යුතු බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරනවා.