Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නීති විරෝධී වැඩකට සැරසුණු ඉන්දීය යාත්‍රා ‍02ක් මෙරට නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම උඩප්පුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ ආවේක්‍ෂණ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන එන ලද බීඩි කොළ තොගයක් මෙරට මුහුදු සීමාවේදී හුවමාරු කිරීමට උත්සාහ කල ඉන්දීය ඩව් යාත්‍රා ‍දෙකක් සහ දේශීය ඩිංගි යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය සහ ශ්‍රී ලාංකික සැකකරුවන් එකොලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (21) දින රාත්‍රීයේදී හැකිව තිබෙනවා

ඒ අනුව, බටහිර නාවික විධානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව, සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී පුත්තලම උඩප්පුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලට ඇතුළු වී තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රා දෙකක් (02) සහ එම මුහුදු ප්‍රදේශයේ තිබූ මෙරට සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්‍ෂාවට ලක්කළ බවයි නාවික හමුදාව පවසන්නේ.

එහිදී, නීති විරෝධී ලෙස රැගෙන ආ උර හැටක (60) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 2,400ක පමණ තොගයක් මුහුදේදී හුවමාරු කිරීමට උත්සාහ කල ඉන්දීය ජාතික සැකකරුවන් හත් දෙනෙකු සහ දේශීය ඩිංගි යාත්‍රා දෙකක් සමඟ මෙරට සැකකරුවන් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, සැකකරුවන්, ඩව් යාත්‍රා සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.